හෝටල් සේවා සැපයුම්කරුවන්ට මහබැංකුවෙන් නිවේදනයක්

ශ්රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම්, විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම රීති නිකුත් කිරීමත් සමඟ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත්රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින්,
*ශ්රි ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් වන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගත යුතු ය.
*එවැනි විදේශ මුදල් හෝටල් සේවා සැපයුම්කරුගේ ව්යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කිරීම හෝ බලපත්රලාභී බැංකුවකට විකිණීම ව්යාපාරික දින තුනක් ඇතුළත කළ යුතු ය.
*ශ්රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් විසින් විද්යුත් මුදල් හුවමාරු කාඩ්පත් (ණයපත්, හරපත්, සංචාරක කාඩ්පත් යනා දී) හරහා සිදු කරන ගෙවීම් හෝටල් සේවා සැපයුම්කරුවාගේ ව්යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කළ යුතු ය.
එසේ වුවත්, ශ්රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් බලපත්රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු හරහා ශ්රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාළ මුල් ලේඛන ලබා දිය හැකි නම්, හෝටල් සේවා සැපයුම්කරුවන්ට ශ්රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් ශ්රී ලංකා රුපියල්වලින් කරන ගෙවීම් භාර ගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

