උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන දෙදහස් හාරසිය තිස් අටකදී අද (07 වැනිදා) ආරම්භ කෙරේ.

අයැදුම්කරුවෝ තුන් ලක්ෂ හතළිස් පන් දහස් දෙසිය හතළිස් දෙදෙනෙක් මෙවර විභාගයට පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ හැත්තෑ නව දහස් එකසිය හතළිස් එක් දෙනෙක් පාසල් අයැදුම්කරුවෝ වෙති. කොවිඩ් ආසාදිත දරුවන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආසන්නයේ විශේෂ මධ්‍යස්ථාන විසි නවයක් පිහිටුවනු ලැබ ඇත. ආසන්න දින හතක් ඇතුළත වයිරසය ආසාදිත වූ දරුවන් රෝහලේ හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව සිට විභාගයට පෙනී සිටිය යුතු වන අතර එවැනි දරුවන්ට සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානය අදාළ නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.

ප්‍රතිකාර ලබා අවසන් වන දරුවන්ට මෙන්ම කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වන දරුවන්ට සියලුම විභාග මධ්‍යස්ථානවල වෙන් කර ඇති විශේෂ කාමරයක සිට විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීවේය. විභාග කාලසීමාවේදී අඛණ්ඩව විදුලිය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ කෙසේ වෙතත් අද දිනයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියළු දරුවන්ට විභාගයට හොඳින් මුහුණ දීලා ඔවුන් බලාපොරොතු වෙන ජයග්‍රහණය ලැබෙන්න කියලා “My newslanka” අපි හදවතින්ම සුබ පතනවා.