වසර 800කට පසු මුලතිව් කුරුන්දි වෙහෙරින් පිරිත් හඬ – පිරිතට පෙර කලබලයක්

වසර 800කට පසු මුලතිව් කුරුන්දි වෙහෙරින් පිරිත් හඬ – පිරිතට පෙර කලබලයක්

වසර 800 කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කරගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක්වූ මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුලු සියලු ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා පෙරේදා (5) සිට විවෘත කෙරිණ. මේ සබන්ධව දිනපතා පලවෙන පුවත් පතක් ද සඳහන් කර තිබුණා.

එම පුදබිමේදී විශේෂ පිරිත් සජ්ඣායනයක් පෙරේදා (5) රාත්‍රී පැවැත්විණ. විහාරය ආගමික කටයුතු සඳහා විවෘත කෙරුණේ ඉන් අනතුරුවය.

මෙම පින්කමට වැලිඔය සහ අසිරිමලේ ආරණ්‍ය සේනාසනවලින් වැඩමකළ හතළිස් නමකට අධික මහා සංඝරත්නයද වනජීවී අමාත්‍ය සී බී රත්නායක, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

සද්ධාතිස්ස රජුගේ පුතකුවූ ඛල්ලාඨනාග රජු විසින් ගොඩනගනු ලැබූ බව පැවසෙන කුරුන්දි විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් හමුවූ විශාලතම බෞද්ධ විහාර සංකීර්ණයයි.

ප්‍රසිද්ධ අට්ඨ කථාවක් වන කුරුන්දි අටුවාව රචනා කරනු ලැබ ඇත්තේද මෙම විහාරයේ වැඩ වාසය කළ හිමිනමක් විසිනැයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වේ.

තනි කබොක් ගලින් නිමවූ පද්මාකාර චෛත්‍යයක් මෙහි දක්නට ලැබෙන අතර මෙරටින් හමුවූ එවැනි වර්ගයේ එකම නිර්මාණයද මෙය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් මෙම විහාර පරිශ්‍රය බර අවි ස්ථානගත කිරීම සඳහා කලකට පෙර යොදාගනු ලැබ තිබූ බව ආරක්ෂක අංශ පවසයි.

මෙම විහාරයේ ආගමික කටයුතු පැවැත්වීමට පෙර දින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙහි පැමිණ විශාල කලබලයක් ඇති කර තිබූ බව උතුරේ ආරංචි මාර්ගවලින් පැවසේ.

-උපුටා ගැනීමක් –

අතීතයේ උතුරුකරයේ පැවති බොදු උරුමය සොයා ගිය ආරම්භක අවස්ථාව
අතීතයේ උතුරුකරයේ පැවති බොදු උරුමය සොයා ගිය ආරම්භක අවස්ථාව
අතීතයේ උතුරුකරයේ පැවති බොදු උරුමය මහපොළවින් යළි මතුකර ගැනීම 
අතීතයේ උතුරුකරයේ පැවති බොදු උරුමය මහපොළවින් යළි මතුකර ගැනීම 
තනි කබොක් ගලින් නිමවූ පද්මාකාර චෛත්‍යය