උනන්දුවාගෙන් ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් – අපේ රටේ දැන් සුවඳ විලවුන්

මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වර්තමානයේදී ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා විසින් ආරම්භ කරන ලද ලංකාවේ ප්‍රථම අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව පසුගියදා (පෙබරවාරි 10) දිනයේදී විවෘත කිරිම සිදු විය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අගාවුඩ් අපනයන ක්‍රියාවලිය ක්‍රමානුකූලව ක්‍රමවත් කරමින්, ජාතික ආර්ථිකයට ශක්තියක් සපයමින් ජාත්‍යන්තර වෙළඳපල අභියෝග ජයගැනීමට සහය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව බවට මෙය පත්ව තිබේ.
රත්නපුර, අයගම පිහිටි කුමාර් ධර්මසේන මහතාට අයත් අගාවුඩ් වගාව පවතින පින්තැන්න වතුයායෙහි (පින්තැන්න ගෘප් ඔෆ් කම්පැනීස්) මෙම තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව පිහිටා ඇත.
මේ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ඉහළ නැංවීමට අවස්ථාව හිමි වන බව කුමාර් ධර්මසේන මහතා සඳහන් කරයි.
මැදපෙරදිග වෙත මහා පරිමාණව අපනයනය කිරීමේ මූලික අරමුණින් මෙලෙස එම කර්මාන්තශාලාව තුළ අගාවුඩ් තෙල් නිස්සාරණය කෙරෙන බව පැවසෙයි.
එසේම මෙලෙස නිස්සාරණය කෙරෙන අගාවුඩ් තෙල් යොදා ගනිමින් සුවඳ විලවුන් වර්ග, හඳුන්කූරු යනාදී නිෂ්පාදන පෙළක්ම සිලනි සන්නාමයෙන් ඉදිරිපත් කිරිමටත් පින්තැන්න සමූහ ව්‍යාපාරය පියවර ගෙන තිබේ.
කුමාර් ධර්මසේන විසන් සිය ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහනක් එක් කර තිබුණා,
“සිහින දකින එක පහසු වුනත්, ඒ හීනය සැබෑ කර ගන්න එක තමයි අසීරුම කාර්යය. වෙහෙස මහන්සිය, අධිශ්ඨානය, ධෛර්යය, උත්සහය සහ කැපවීම තියෙනවනම් ඒ අසීරු කාර්යයත් හරිම පහසුයි. සිහිනයක් කරා යන ගමන හරි සුන්දරයි.
මගේ ජීවිතයේ සතුටුදායකම අවස්ථාවන් කිහිපයක් තියෙනවා. ඒ අතරින් 96′ ලෝක කුසලානය ජයග්‍රහණය කරපු වෙලාව මට අමතක නොවන මතකයක්. මට එදා දැනුන ඒ හැඟීම නැවත දැනුනේ මේ ලක්බිමට, යුතුකම ඉටු කල ආඩම්බරකාර වගාකරුවෙකු වූ නිසාවෙනි.”
“ශ්‍රී ලංකාවේ ප්‍රථම අගාවුඩ් තෙල් නිස්සාරණ කර්මාන්ත ශාලාව විවෘත කරමින් මා දුටු ඒ හීනය සඵල කර ගන්නට මට හැකි වුණා. ශ්‍රී ලාංකීය අගාවුඩ් ක්ෂේත්රයට නවමු පෙරළියක් එක් කරන්නට මා හා අත්වැල් බැඳගත් සියලු දෙනා හට මාගේ හෘදයාංගම කෘතඥතාවය පිරි නමන්නට කැමැති.”
“ඔබත් හීන පස්සේ දුවන එක නවත්තන්න එපා. එක්ව ඉදිරියටම යමු.”
ආදරෙයි හැමදෙනාටම. පරිස්සමට ඉන්න.











