ආර්ථික ලොව ජය ගන්න තරුණ පරපුරට හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි

ආර්ථික ලොව ජය ගන්න තරුණ පරපුරට හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුයි

අද අපි ඉන්නේ ගෝලීය වෙළඳපොලක, එහි අපේ තරුණ තරුණියන් සඳහා වූ අවස්ථාවන් තිබෙනවා. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් කෙටිකලකින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්න ගම්පහ තරුණ තරුණියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමේ පලමු වැඩසටහ⁣නේදී ශිෂ්‍යත්ව ලාභී දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමිනි.

එතුමා එහිදී දැක්වූ අදහස්,

අද අපි ඉන්නේ ගෝලීය වෙළඳපොලක, එහි අපේ තරුණ තරුණියන් සඳහා වූ අවස්ථාවන් තිබෙනවා. ඒ සඳහා අපට හොඳ ඉංග්‍රීසි දැනුමැති තරුණ දූ දරුවන් පරපුරක් අවශ්‍යයි. අද අපේ බොහෝ දරුවන්ට රැකියාවක් සොයා ගැනීමේදී ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ සම්මුඛ පරීක්ෂණයකට සාර්ථකත්ව මුහුණදෙන්නට තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති කමයි. එසේ ආත්ම විශ්වාසය නැතිවෙන්නට ප්‍රධාන හේතුව වන්නේ ඉංග්‍රීසි දැනුමේ අඩුපාඩුවයි.

ඒ නිසා දෙමව්පියන් එකිනෙකාට වැඳ වැඳ රැකියා ඉල්ලනවාට වඩා අපේ දරුවන්ට ආත්ම ශක්තියක් ඇතුව රැකියා ලොව ජයගැනීමට අවශ්‍ය ශක්තිය අපි ලබා දිය යුතුයි. කෙටිකලකින් ඉංග්‍රීසි ඉගෙන ගන්නට තරුණ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් අපි ආරම්භ කරන්නේ ඒ සඳහායි.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මානව සංවර්ධනය උදෙසා සිදුකරන ” ස්වශක්ති මානව සංවර්ධන ” වැඩසටහන යටතේ ක්‍රියාත්මක උප වැඩසටහනක් වන “සෞභාග්‍යා නැණ බල” වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ දූ දරුවන් වෙනුවෙන් මෙම ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

අද වන විට මෙරට පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමේදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පවතින ඌන දැනුම හේතුවෙන් දරුවන් විශාල අපහසුතාවයකට පත්වන බව පෞද්ගලිකව දැක ඇති අත්දැකීමකි.ඒ අනුව ඇක්වයිනාස් ආයතනය සමඟ සාකච්ජා කර පෞරුෂ වර්ධනය, ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුම, ඉංග්‍රීසි කථන හැකියාව වර්ධනය කිරීම, ඉංග්‍රීසි ඉදිරිපත් කිරීම් හැකියාව දියුණු කිරීම, සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන ආකාරය පුහුණු කිරීම වැනි විශේෂ ඉගැන්වීම් ඇතුළත් රු. 50,000ක පමණ වටිනාකමකින් යුතු විශේෂයෙන්ම සකස් කළ පාඨමාලාවක් සම්පුරණයෙන්ම නොමිලේ දරුවන් වෙත ලබා දීමට සැලසුම් කරඇත. දිනකට පැය 6ක් බැගින් සතියට දින දෙකක් බැගින් ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව මාස 3ක් පැය144 ක කාලසීමාවක් පුරා ක්‍රියාත්මක වේ.

පළමු අදියරේදී දරුවන් 30 බැගින් මේ වසර තුළ දරුවන් 120 දෙනෙක් සඳහා අදියර හතරක් ඔස්සේ මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් සැලසුම් කර ඇත.

ඉංග්‍රීසි දැනුම යනු නූතන ලෝකයට ප්‍රවේශ වීමට ඇති ප්‍රමුඛතම දොරටුවයි. විශේෂයෙන් නව දැනුම ලබා ගැනීමටත්,ලොව පුරා සිදු කරන වාණිජ කටයුතු සඳහාත්, ආත්ම ශක්තියෙන් යුතුව තම අනාගතය ජය ගන්නට ඉංග්‍රීසි භාෂාව අද අත්‍යවශ්‍ය වී ඇති පසුබිමක අපට මෙවැනි කටයුත්තක් සැලසුම් කිරීමට ලැබීම සතුටට කරුණකි.මෙම ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහනේ දැනුවත් කිරීමේ ආරම්භක අවස්ථාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් සුබසිංහආරච්චි මහතා අධ්‍යක්ෂක ජනරාල් ප්‍රසන්න වික්‍රමසූරිය මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුකළ අතර පාඨමාලාව ආරම්භය මෙම සතියේදී ඇක්වයිනාස් ආයතනයේදී ආරම්භ කිරීමටත් කටයුතු සැලසුම් කර ඇත.