දිවි පුදා යුක්රේනය බේරගන්න පෙරට ආපු විරුවා

ස්කකුන් විටාලි නම් වූ මේ තිස් එක් හැවිරිදි යුක්රේනුවා මේ වනවිටත් එරට යුද ඉතිහාසය තුළ ඔහුගේ නම නොමැකෙන ලෙස සටහන් තබා ගෙන අවසන්.
යුක්රේනයේ හෙනිචෙස්ක් පාලම පසු කරමින් යුක්රේන කිව් අගනුවරට පිවිසිම සඳහා රුසියානු යුද ටැංකි මාලාවක් ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන අයුරු යුක්රේන ආරක්ෂක හමුදාවන් නිරීක්ෂණය කළා.
මෙම යුද ටැංකි මාලාව නැවැත්වීම සඳහා ගත හැකි වඩාත් සුදුසු ක්‍රියාමාර්ගය වූයේ එම මාර්ගයේ ඉදිරියේ පිහිටා ඇති විශාල පාලමක් පුපුරුවා හැරීම යි.
මෙය අතිශය සංකීර්ණ කාරණයක් වූයේ එම යුද ටැංකි මාලාවේ වේගවත් ඉදිරි ගමන හේතුවෙන්.
කෙසේ වෙතත් ඉංජිනේරු ඛණ්ඩය එක්වී වහ වහා හෙනිචෙස්ක් ප්‍රදේශයෙහි පිහිටා තිබූ මෙම පාලමේ අධි බලති බෝම්බ ගණනාවක් සවි කරනු ලැබුවා.
එකිනෙක සම්බන්ධ කරන ලද මෙම බෝම්බ පුපුරුවා හැරීම සාමාන්‍යයෙන් සිදු කරනුයේ දුරස්ථ පාලක උපකරණ භාවිත කරමින්.
නමුත් ලහි ලහියේ සිදු කෙරුණු මෙම බෝම්බ සවි කිරීමට එවන් පහසුකමක් සලසා ගැනීමට මෙම ඛණ්ඩයට හැකියාවක් ලැබුනේ නැහැ.
බෝම්බ සවි කිරීමෙන් අනතුරුව රුසියානු යුද ටැංකි තර්ජනය ලං ලංව දැනෙනා විට මෙම ඉංජිනේරු ඛණ්ඩයේ ඊළඟ අභියෝගය වූයේ මෙම බෝම්බ මාලාව පුපුරුවා දමන්නේ කෙලෙසද යන්නයි.
මෙහිදී ස්වේච්ඡාවෙන් මෙම බෝම්බ පුපුරා හැරීම සඳහා ඉදිරිපත් වන්නේ 31 හැවිරිදි ඉංජිනේරු භට ස්කකුන් විටාලියි.

තම කණ්ඩායම් සගයින්ට පසු බැසීමට ඉඩ සලසා විටාලි පාලම මත අටවා තිබූ බෝම්බ මාලාව පුපුුපුරුවා හරින්නේ ඒ සමග තමන්ගේ ජීවිතයේ අවසන් හුස්ම පොද වා තලය වෙත එක් කරමින්.
කීරි ගැහෙන සීතලේ විටාලි ගේ සිරුරෙන් ගලාගිය උණුසුම් රුහිරු ධාරාවන් යුක්රේන බිම සිප ගත්තේ විටාලි ගේ මෙම වීර ක්‍රියාව හේතුවෙන් හෙනිචෙස්ක් පාලම හරහා යුක්රේනයේ කිව් අගනගරය බලා ගමන් කරමින් තිබූ රුසියානු යුද ටැංකි අසූවකට සහ සන්නද්ධ රථ 50 ඔවුන්ගේ ගමන් මග සම්පූර්ණයෙන්ම අහුරා දමමින්.

එපමණක්ද නොවේ යුක්රේනුවන්ට හැමදාමත් ආඩම්බරයෙන් කතා කළ හැකි සදාතනික යුධ විරුවෙකුගේ නමක් ඔවුන්ගේ ඉතිහාසය තුළ, හදවත් තුල නොමැකෙන ලෙස සටහන් තබමින්.
මේ අතර අපට වඩාත් සමීප කටුක අත්දැකීම් ගෙනදුන් තිස් වසරක සිවිල් යුද්ධය තුළ මෙරට සිංහල, දෙමළ සමාජය තුළ මුල් බැසගත් යුධ විරුවන් රැසක් ද අපේ මතකයේ තවමත් හොඳින් රැඳී තිබෙනවා.
එල්ටී. ටී.ඊ ත්‍රස්තවාදය හමුවේ සිය ජීවිතය පුදා අලිමංකඩ කදවුර බේරාගැනීම සඳහා පුපුරන ද්‍රව්‍ය පුරවාගත් ඩෝසර් රථයකට බෝම්බ රැගෙන පැන එම ඩෝසර රථයත් පුපුරුවා සිය ජීවිතය පූජා කළ හසලක ගාමිණීගේ කුලරත්න මතකය මෙරට යුද ඉතිහාසයෙන් ඉවත් කළ නො හැකි මතකයක්.
තවමත් දින තුනක් පමණක් ගත වී ඇති මෙම යුද ගැටුම් මැද්දේ මේ වාර්තා වූ එක්තරා සිදුවීම හසලක ගාමිණීගේ මතකය නැවත අලුත් කරන්නට සමත් වුණා.

