අභියෝග තිබුණ ද, බිම්ස්ටෙක් රටවල අනාගතය පැහැදිළියි – ජනපති

අභියෝග තිබුණ ද, බිම්ස්ටෙක් රටවල අනාගතය පැහැදිළියි – ජනපති

වර්තමානයේ පවතින ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකය ගොඩනැගීමට සහ දරිද්‍රතාවෙන් පීඩාවට පත් ජනතාව සමෘද්ධිමත් කිරීමට ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මුහුණදීමට අභියෝග තිබුණ ද, බිම්ස්ටෙක් රටවල අනාගතය පැහැදිළි හා ශක්තිමත් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) අද (30) පෙරවරුවේ පැවති “බෙංගාල බොක්ක ආශ්‍රිත බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා” (බිම්ස්ටෙක්) සංවිධානයේ පස්වැනි රාජ්‍ය නායක සමුළුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙවර සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වූ අතර සභාපතීත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙබවූවා.

බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ තායිලන්තය යන රටවල නියෝජනයෙන් මාර්තු 28 සහ 29 කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණා.

බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු හා අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීමේ අරමුණින් 1997 ජුනි මාසයේ තායිලන්තයේ බැංකොක් අගනුවර දී බිම්ස්ටෙක් සංවිධානය ස්ථාපිත කෙරිණ.

වාණිජ්‍ය, ආයෝජන, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර, ප්‍රවාහන හා සන්නිවේදන, අධ්‍යාපන, වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පුහුණු හා පර්යේෂණ පහසුකම් සැපයීම ද ආර්ථික, සමාජ, තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර සඳහා ක්‍රියාකාරී සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ද මින් අපේක්ෂා කෙරෙනවා.

කලාපයේ වෙළෙඳ හා ආයෝජන වැඩිකිරීමට උත්සාහ දැරිය යුතුයි.

වසර දෙකකට ආසන්න විරාමයකින් පසු ප්‍රාණවත් වන සංචාරක කර්මාන්තය බිම්ස්ටෙක් රටවලට විශාල ශක්තියක් සපයයි.

එබැවින් සංචාරක කර්මාන්තය පිළිබඳ බිම්ස්ටෙක් න්‍යාය පත්‍රයේ ප්‍රධාන අවධානය ලබා දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

බෙංගාල බොක්ක කලාපය ගෝලීය සම්බන්ධතා හා වෙළෙදාම සඳහා අතිශයින් වැදගත්.

මේ හරහා ඇති ජාත්‍යන්තර නැව් මාර්ග ගෝලීය ආර්ථිකයේ හදවත ක්‍රියාත්මක වීමට උපකාරී වනවා.

සමුද්‍රීය කලාපයට මෙන්ම රාජ්‍යයන්ට ද එල්ලවන තර්ජන මැඩලීම සඳහා සමුද්‍රාශ්‍රිත ජාතීන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර බුද්ධි තොරතුරු බෙදාගැනීම සහ අන්තර් රාජ්‍ය සහ අන්තර් නියෝජිතායතන අතර සහයෝගීතාවේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා මේ හරහා සියලු ජාතීන්ට හිතකර ලෙස කලාපයේ ආරක්ෂාව වැඩිදියුණු කළ හැකි බව ද පෙන්වා දී තිබෙනවා..

බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක ආධාර මුදලක් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළ බවද සඳහන්.

සංවිධානයේ රටවල් අතර ක්‍රියාකාරීත්වය සහ සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නීති රාමු සැකසීමට ද කාලය පැමිණ තිබෙනවා.

කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන්හි අගය එකතු කිරීමෙන් මෙම අංශ දියුණු කිරීමේ වැදගත්කම ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ලෝක කොවිඩ් වසංගතය සේම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වී ඇති අතර . ඒ සඳහා සාමූහිකව ක්‍රියා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය කියා සිටියා.

එසේම සංවිධානයේ ක්ෂේත්‍ර 14ක් යටතේ පවතින සහයෝගීතාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා සියලු සාමාජික රටවල් එකතු වී කටයුතු කළ යුතු බව ද ශෙයික් හසීනා මහත්මිය සඳහන් කළා.

කලාපයේ ඩිජිටල් සම්බන්ධතා පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් භූතාන අගමැති වෛද්‍ය ලෝටේ ට්ෂෙරීන් මහතා නොමිලයේ හෝ දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතු බව ද පැවසුවා.

ත්‍රස්තවාදී ක්‍රියා පිටුදැකීම, මිනිස් ජාවාරමට සහ මුදල් විශූද්ධිකරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වැඩිදියුණු කළ තාක්ෂණය සහ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව නේපාල අග්‍රාමාත්‍ය ශේර් බහදුර් ඩෙවුබා මහතා පෙන්වා දුන් අතර පවතින අභියෝග හමුවේ ආහාර සුරක්ෂිතාව ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතු බවයි මියන්මාර් විදේශ කටයුතු අමාත්‍ය වුන්නා මුන්ග් ල්වින් පෙන්වා දුන්නේ.

තිරසර සහ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට සාමාජික රටවලට සහාය දීමට තායිලන්තය සූදානමින් සිටින බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන්-ඕ-චා මහතා ප්‍රකාශ කළා.

බිම්ස්ටෙක් ප්‍රඥාප්තිය සම්මත කරගැනීම, නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම හා 2022 – 2023 වසර සඳහා බිම්ස්ටෙක්හි සභාපතීත්වය තායිලන්තයට භාර දීම ද සමුළුවට සමගාමීව සිදු කර තිබෙනවා.