යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා පල්ලම් බහී

යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා ඉවත් කරගැනීම සෙමෙන් එහෙත් කැපී පෙනෙන ලෙස සිදුවන බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි පවසනවා.
කෙසේ නමුත් නැගෙනහිර ඩොන්බාස් සහ කාර්කිව් ප්‍රදේශවල ඉදිරියටත් දරුණු ගැටුම් ඇතිවිය හැකි බවටයි ඔහු අනතුරු ඇඟවූයේ.
කීව් අගනුවරට තදාසන්නව පිහිටි ගුචා සහ ඉර්පින් නගර රුසියානු හමුදා වෙතින් යළි අත්පත් කරගැනීමට යුක්රේන හමුදා සමත්වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර දකුණු දිග යුක්රේනයේ මරියුපොල් නුවරින් සිවිල් වැසියන් ඉවත් කරගැනීම අන්තර්ජාතික රතුකුරුස කමිටුව විසින් අත්හිටුවා තිබෙනවා.
කෙසේ නමුත් 3,000කට අධික සිවිල් වැසියන් පිරිසක් ඊට පෙර ඉන් ඉවත් කරගැනීමට හැකිවූ බවයි යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ.
මේ අතර රුසියානු භූමියේ පිහිටි ඉන්ධන ගබඩාවකට යුක්රේන හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ප්‍රහාරයක් එල්ල කළ බවට ඉදිරිපත් වී ඇති චෝදනා යුක්රේන විදේශ අමාත්‍යවරයා විසින් සනාථ කර හෝ ප්‍රතික්ෂේප කර නැහැ.
කාර්කිව් නුවරට කිලෝමීටර 60 ක් පමණ ඈතින් පිහිටි රුසියානු බෙල්ගොරොඩ් නගරයේ පිහිටි මෙම ඉන්ධන ගබඩාවට එල්ල වූ ප්‍රහාරයෙන් එය ගිනිගෙන දැවුණු අතර, යුක්රේන යුද පෙරමුණට සිදු කෙරෙන සැපයුම්වලට එය බලපාන බවයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ප්‍රකාශ කළේ.

