පාස්කු ඉරිදාව අදයි

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කු ඉරිදා දිනය ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා.
වසර 2000කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේ දී කුරුසි පත් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවයි පුරාවෘත්තයේ සඳහන් වන්නේ.
පාස්කු දිනය ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා සමරන අතර, පාස්කු යන වචනය පසුකර යෑම යන අර්ථය ගෙන දෙන්නක්.
යුදෙව්වන් ඊජිප්තුවේ වහල්බවින් නිදහස් වී සිය පොරොන්දු දේශය බලා නික්මීම සටහන් කරමින් පාස් ඕවර් හෙවත් පසුකර යෑම යන අරුත් ඇතිව එය යෙදී තිබෙනවා.
පාස්කුව වටා කිතු දහමේ බොහෝ චාරිත්‍ර එක්ව ඇති අතර, කිතුණු ජනතාව දින ගණනාවක් පුරා ඊට අදාළ සැමරුම් සිදු කරනවා.
ජේසු සමිඳානන් මරණය පරාජය කර නැවත උත්ථානය වීම එතුමානන්ගේ විජයග්‍රහණය ලෙස සලකන කිතුණු බැතිමතුන් එය මිනිසුන්ට ලබාදුන් මහත් අස්වැසිල්ලක් ලෙසයි සඳහන් කරන්නේ.
මේ අතර පාස්කු ඉරිදා දිනය සමරමින් විශේෂ දේව මෙහෙයක් කොළඹ – කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ දී අද අලුයම් කාලයේ පැවැත්වුණේ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන්.

