වැඩි බලයට ජනපති, අගමැති මත ගැටුමක

වැඩි බලයට ජනපති, අගමැති මත ගැටුමක

විධායකයේ බලතල ඉවත් කර නැවත පාර්ලිමේන්තුව වැඩි බලතල සහිතව බල ගැන්වීමේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර මත ගැටුමක් ආරම්භ වී ඇති බව දිනපතා පල වෙන පුවත් පතක් වාර්තා කරනවා.

මේ වනවිට සති කිහිපයක සිට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර දැඩි දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබෙන බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් විපක්ෂයේ අසුන්ගෙන සිටින 11 දෙනාගේ සන්ධානය සමඟ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කරන බවත් වාර්තාවේ සදහන්වේ.

තවත් පිරිසක් පවසන්නේ ඉල්ලා අස්වීමක් සිදුවුවන්නේ නම් ඉල්ලා අස්විය යුත්තේ ජනාධිපතිවරයා බවයි.

පසුගියදා සිදු කරන ලද කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාවරුන් සියල්ල ජනාධිපතිවරයාගේ තේරීමෙන් පමණක් බවත් අගමැතිවරයාගේ අදහස් විමසීමක් හෝ සිදු නොවූ බවත් එම වාර්තාවේ දැක්වෙයි.

නව ඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවවලටද අගමැතිවරයා සහභාගි නොවීය.

අග්‍රාමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටි නමුත් තරුණ හා නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ අවධාරණය කර ඇත්තේ විරෝධතාකරුවන් සන්සුන් කර රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර වගන්ති කිහිපයක සංශෝධන සහිතව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරන බවට ඉඟි පළ කර ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික නායකයන් සමඟ දෙදින සාකච්ඡාවක් සඳහා යෝජනා කර ඇත.

මෙම යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් අද සහ හෙට රැස්වන අතර එහිදී සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව අපේක්ෂා කෙරෙන එක් යෝජනාවක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටියි.

කථානායකවරයා එය ජනාධිපතිවරයාට දැනුම් දෙනු ඇති අතර කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉන් ඉවත් වන්නේද යන්න ඉදිරියේදී දැකගත හැකිය.