සියලුම ඉදිකිරීමේ කටයුතු නවත්වන්න

සිමෙන්ති මිල ඉහළ දැමීම ආනයනකරුවන්ගේ මාෆියාවක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීමේ සංගමය කියා සිටියේය. මාස තුනක කාලයක් සඳහා සියලුම ඉදිකිරීමේ කටයුතු නතර කරන ලෙස සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පැවසීය.
සිමෙන්ති කොට්ටයක් රුපියල් තුන්දහසකට සහ යකඩ ටොන් එකක් රුපියල් හත්ලක්ෂ පන්දහසකට මිලදීගෙන ඉදිකිරීමේ කටයුතු කිරීමට හැකියාවක් ඇති පුද්ගලයන් මෙරට නොමැති බවත් මෙයින් සිදුවන්නේ රටේ සියලුම සංවර්ධන කටයුතු අඩාළ වීම බවත් සභාපතිවරයා කියා සිටියේය. ඊයේ (26) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙසද අවධාරණය කළේය.
”සිමෙන්ති මිල තමන්ට ඕන විදියට වැඩි කරන්න ආනයනකරුවන්ට හැකියාවක් ලැබෙන්නේ කොහොමද එය තීරණය කරන්න ඕනේ රජය මැදිහත්වෙලා. රාජ්‍ය බලධාරීන් මේක පරිපාලනය නොකර අතහැරලා තියෙන්නේ. මෙහෙම වැඩි කරගෙන වැඩි කරගෙන ගිහින් මොකක්ද අවසානේ මේ කරන්න හදන්නේ.
මාසෙකට මෙට්‍රික් ටොන් හයලක්ෂයක් වෙළඳපොළට නිකුත් වෙන්න ඕනේ, රටේ වෙළෙඳපොළ මධ්‍යස්ථාන අටදහසක් තියනවා නමුත් අටදහසේම බහුතරයකම සිමෙන්ති නැහැ.
මෙතන මාෆියාවක් වෙන්නේ. කලින් මෙහෙම වුණේ නැහැ. දෙදාස් විසිඑකේ ඉඳන් මෙහෙම දෙයක් වුණේ නැහැ. කොවිඩ් කාලෙත් වුණේ නැහැ.
හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක් ආරම්භය කළා නමුත් මොකද වුණේ කිසි කෙනෙක් ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. කෝ දේශීය කර්මාන්තයෙන් නිෂ්පාදනය කළ සිමෙන්ති. රටේ සංවර්ධනය නතර කරලා මේ රටේ උද්ඝෝෂණය කිරීම් වැඩි කරන්න උඩගෙඩි දීමක් නේද මේ කරන්නේ. වෙනදා නම් සිමෙන්ති වැඩි කරනවා නම් ක්‍රමවේදයක් තිබුණා. දැන් මුකුත් නැහැ එහෙම දෙයක්. කිසි කෙනෙක් මැදිහත්වෙන්නේ නැහැ.”

