අගමැති ඇතුළු පිරිසට රටින් පනින්න දෙන්න එපා – මහා සංඝ රත්නය

අගමැති ඇතුළු පිරිසට රටින් පනින්න දෙන්න එපා – මහා සංඝ රත්නය

අගමැති ධූරය වහා පිරවිය යුතු බැවින් වහා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් අගමැතිවරයෙකු පත් කර ගැනීමට
කටයුතු කරන්නැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් හා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළහ.

ඒ සඳහා සුදුස්සෙක් නැතැයි හැඟේ නම් ජාතික ලැයිස්තුවෙන් අයෙකු ඉවත් කොට ඒ සඳහා නිර්පාක්ෂික බාහිර පුද්ගලයෙකු පත්කර බලය පවරන්නැයි මහා සංඝ රත්නය ඉල්ලා සිටින බව ඕමල්පේ නාහිමියන් අද (මැයි 10) නාරාහේන්පිටදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

සාමකාමී අරගලකරුවන් පිරිසකට පහර දෙන්නට, අරලිය ගහ මන්දිරය තුළදී මත්පැන් පොවා පිරිසක් යැවූ බවට හිටපු අගමැතිවරයාට චෝදනා කළ උන්වහන්සේ ඔවුන්ට රටින් පැන යන්නට ඉඩ නොදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද කීහ.

මාධ්‍ය හමුව අමතමින් උන්වහන්සේ මෙසේ ද කීහ.

“අරගල භූමියේ අතිබිහිසුණු අත්දැකීමක් ඇති කළේ කඩු පොලු අරන් එහි ආ විශාල පිරිසක් ඔවුන් අගමැති නිල නිවසට ගෙන්වා ප්‍රකෝප කරන කතාවක් පවත්වා, ආහාර පාන මත්පැන් දී මුදා හැරියා. සිවිල් ආරක්ෂාව භාර පොලිසිය නිහඬව සිටියා.

ඒ අපරාධයට එරෙහිවයි සිවිල් ජනතාව ප්‍රතිචාර දැක්වූයේ. මහා පරිමාණ දේපළ විනාශයක් වුණා. කිහිප දෙනෙක් මිය ගියා. විශාල පිරිසකට තුවාල වුණා. මේ වගේ ජාතික විනාශයක් වුණේ සාමකාමී අරගලයකට පහර දීම නිස යි.

මේ අපරාධ නවත්වන්න කියලා අපි සියලු ම අංශවලින් ඉල්ලනවා. පොදු දේවල් නොවුණත් රටක් සතු දේවල් මේ විනාශ වෙන්නේ.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.