සාමකාමී අරගලකරුවන්ට පහර දුන් පිරිසට වහාම නීතිමය පියවර ගන්න

හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් ගාලු මුවෙදාර සාමකාමී අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් වහා ම නීතිමය පියවර ගන්නැයි මෙරට බලධාරීන්ට අවධාරණය කරන බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් විරෝධතාකරුවන්ට පහර දීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමත් ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ට එරෙහිව ඇතිවූ ප්‍රචණ්ඩත්වයත් පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්වන බවත් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය පවසයි.
සියලු ප්‍රචණ්ඩකාරී ප්‍රහාර ගැන විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් කරන අතරේ ම උසිගැන්වීම් කරන පාර්ශ්වයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බවට සහතික කළ යුතු බව ද ඇය තම නිවේදනයේ සඳහන් කර ඇත.
ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙරට තත්ත්වය ඉතා සමීපව නිරීක්‍ෂණය කරන බවත් හදිසි නීති තත්ත්වයක් තුළ වුව ද පොලිසිය හා හමුදා නිලධාරීන් ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවත් එහි සඳහන් වේ.
බහුතර ලාංකිකකයන්ගේ දෛනික ජීවිතය ම අරගලයක් බවට පත්ව ඇති බවත් රට ගොඩනැගීම සඳහා ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ තම නිවේදනයෙහි වැඩිදුරට ත් සඳහන් කර ඇත.

