කොටි ත්‍රස්තවාදයෙන් මව් බිම නිදහස් කරගෙන අදට වසර 13යි

කොටි ත්‍රස්තවාදයෙන් මව් බිම නිදහස් කරගෙන අදට වසර 13යි

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13ක් සපිරෙයි.

ශ්‍රී ලංකා රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙය අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණදී සිටින පසුබිමකදීය.

මේ සටහන එම ත්‍රස්තවාදය පරාජය කරමින් ජාතිය ලද ජයග්‍රහණය පිළිබඳවයි.

1975 ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලුර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයවීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවකු හෝ සිතුවේ නැත.

එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිරගියේය.

ඒ  කළු ජූලිය නමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක්කරමින්ය.

ඉන් පසු ගෙවුණු දශක දෙකක කාලය තුළ එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය‍ නායකයින්, දේශපාලඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙමින්ය.

2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹුනත් එල්.ටී.ටී.ඊ.ය දිගින් දගටම එය කඩ කරමින් සිය ම්ලෙච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසාදැමීම එහි උච්ඡතම අවස්ථාව වුණි.

ඒ අනුව නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව් වන ඊළාම් යුද්ධයේ ආරම්භ වුණි.

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ එවක යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාත් , නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත්,  ගුවන්හමුදාපති එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලකත් කොටි ත්‍රසත්වාදයට එරෙහි මෙහෙයුම් දියත් කළ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් සිවිල් ආරක්ෂක බලකායත් , පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත්  ශ්‍රි ලංකා පොලිස් සේවයත් ඊට නොමඳ සහායක් ලබාදුනි.
 
දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කරමින් මෙරට හමුදා ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද එහිදී සාර්ථකව ජයගනු ලැබුවේය.

විදෙස් බලපෑම් වලට පවා යටත් නොවෙමින් ගෙන යනු ලැබූ ඒ මානුෂිය මෙහෙයුම අදට වසර 13 කට පෙර හරියටම අද වන් දිනක නිමා වූයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර ශ්‍රී ලංකාවට සාමය උදාකර දෙමින්ය.

ඒ අනුව 2009 මැයි මස 18 වනදා ඒ ඓතිහාසික දිනයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කෙරුණේ යළිත් සාමකාමී යුගයක් මෙරට ජනතාවට උදාකර දෙමින්ය.

තිස් වසරක සාපලත් යුද්ධයකින් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදාගත් ශ්‍රී ලාංකේය රණවිරුවන්ට ජාතියක් ලෙස අප කෘතඥ විය යුතු වනවා සේම , නැවතත් සාපකාරී ත්‍රස්තවාදයක් නිර්මානය නොවීම සඳහා සහෝදරත්වයෙන් එක්ව කටයුතු කිරීම සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් අප සැමගේ වගකීම බව “My newslanka”  සිහිපත් කර සිටී.