සාමාන්‍ය පෙළ විභාග දිනවල මාර්ග අවහිර කරන්න එපා

සාමාන්‍ය පෙළ විභාග දිනවල මාර්ග අවහිර කරන්න එපා

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය හෙට (23) ආරම්භ වීමට නියමිතයි.

ඒ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844ක දීයි. විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා තවත් මධ්‍යස්ථාන 542 ක් ස්ථාපිත කර තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 517, 496 ක්. ඉන් 417,129 ක් පාසල් අයදුම්කරුවන් වන අතර ඉතිරි එක් ලක්ෂ දසදහස් තුන්සිය හැටහතත් දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වෙනවා.

විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590 දෙනෙකු මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඔවුන් සඳහා ඊට අදාළ විභාග මධ්‍යස්ථානවල විශේෂිත පහසුකම් සලසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම කොරෝනා ආසාදිත සිසුන්ට විභාග මධ්‍යස්ථාන තුළ පිහිටුවා ඇති විශේෂිත කාමරයක් තුළ දී විභාගයට පෙනී සිටිය හැකියි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ හෙට දිනයේ විභාගය ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.එමෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සහ විභාග කාර්ය මණ්ඩලවලට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට විශේෂ වැඩපිළිවලක් සකස් කර තිබෙනවා.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් ඔවුන්ගේ පෞද්ගලික වාහන සඳහා ඩීසල් ලබා ගත හැකියි.

එමෙන්ම පෝලිම්වල රැඳී නොසිට දිවයින පුරා ඉන්ධනහල් මගින් ඔවුන්ට අවශ්‍ය පෙට්‍රල් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

විභාග කාලසටහනට සමගාමීව ක්‍රියාත්මක විශේෂ කාලසටහනක් යටතේ ලංගම බස් රථ ධාවනයේ යෙදෙන අතර පෞද්ගලික බස් රථ සහ දුම්රිය ද සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

අඩුවකින් තොරව සියලු බස් රථ ධාවනය කරවීම අරමුණු කර ගනිමින් සියලු පෞද්ගලික බස් රථ වලටද ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබා දීමට ද කටයුතු යොදා තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණවල නිරතවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කළා.