ස්ටාලින් කච්චතිව් දූපත ඉල්ලයි

කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන්නැ යි තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ චෙන්නායි නුවරට පැමිණි අතර, ස්ටාලින් මෙම ඉල්ලීම කර තිබුණේ එම උත්සව වේදිකාවේදීයි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙක විසින්ම භාවිත කළ පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට නැවත හිමිවූයේ 1976 ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍ර සීමා ගිවිසුම මගින්.
කෙසේ නමුත් විශේෂයෙන් තමිල්නාඩු ධීවරයන් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරාගන්නා ලෙස අඛන්ඩව ඉල්ලීම් කරනු ලැබුවා.
එම ඉල්ලීමයි තමිල්නාඩු මහ ඇමතිවරයා අගමැති මෝදි ඉදිරියේ ඊයේ නැවතත් ප්‍රකාශ කළේ.
දෙමළ භාෂාව ඉන්දියානු රාජ්‍ය භාෂාවක් කරන ලෙසද ඔහු එහිදී වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.
චෙන්නායි උත්සව සභාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ, ආර්ථික දුෂ්කරතාවට මුහුණදෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාව තවදුරටත් පෙනී සිටින බවයි.

