මහ බැංකු අධිපතිට ජනපතිගෙන් සහතිකයක්

මහ බැංකු අධිපතිට ජනපතිගෙන් සහතිකයක්

මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන යන මහත්වරුන් සමග අද (28) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

පත්ව කෙටි කාලයක් ඇතුළත පැවති මූල්‍ය අර්බුදය පාලනයටත්, යහපත් අතට හැරවීමටත් නන්දලාල් වීරසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ද දායකත්වය ගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරමින් ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී සඳහන් කළා.

උද්ධමනය පාලනයට සහ ආර්ථිකයේ ශක්තිමත්භාවය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ ඔහු පැහැදිලි කරදී තිබෙනවා.

දේශපාලන මැදිහත්වීමකින් තොරව එම ක්‍රියාදාමය ඉදිරියටත් කරගෙන යාමට රජය සහාය වන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ.

මේ වන විට සිදුකෙරෙමින් පවතින මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමෙන් සමාජ, ආර්ථික ස්ථාවරභාවය ළඟාකර ගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළා.

නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මූල්‍ය මණ්ඩලය ජාත්‍යන්තරව සිදුකරන ක්‍රියාදාමයේ සාර්ථකත්වය උදෙසා අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය නායක මට්ටමේ මැදිහත්වීමට තමා සූදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

COMMENTS