අටළුගම දැරියව ඝාතනය කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ජනපති

බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පෙරේදා (27) දිවා කාලයේ සිට අතුරුදන් ව සිටිය දී ඊයේ (28) පස්වරුවේ වගුරු බිමක තිබී 09 හැවිරිදි ෆාතිමා ආයිෂා දැරියගේ සිරුර පොලිසිය විසින් සොයා ගැනුණා.
ඒ ගම්වාසින්ගෙන් ලද තොරතුරකට අනුවයි.
අදාළ ඛේදවාචකය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ද සිය නිල ටිව්ටර් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
ඒ අකාලයේ සාහසිකයෙකුගේ අතින් ජීවිතක්ෂයට පත් වූ සිඟිත්තියගේ පවුලේ සාමාජිකයින්ට සිය සාතිශය සංවේගය පළ කරමින්.
ජනාධිපතිවරයා නිකුත් කළ එම ට්විටර් පණිවිඩය ”අමානුෂික ලෙස ඝාතනය වූ ෆාතිමා ආයිෂා දැරියගේ පවුලට මාගේ බලවත් සංවේගය සහ ශෝකය පළ කරනවා. මෙම සාහසික අපරාධය කළ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙනැවිත් දැඩි දඬුවම් ලබාදීමටත්, නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් මම පොරොන්දු වෙනවා..”
මෙම දැරියගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.
ඇය වෙනත් ස්ථානයකදී ඝාතනය කර අදාළ වගුරු බිමට ගෙනැවිත් දමා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
මෙම දැරියගේ සිරුර නිවසට යාබද වගුරු බිමක තිබී සොයා ගෙන තිබුණේ ඊයේ පස්වරුවේදියි.
බණ්ඩාරගම, අටුළුගම, අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දැරිය පෙරේදා පෙරවරුවේ සිට අතුරුදන් ව ඇති බවටයි ඇගේ මව පොලිසියට පැමිණිලි කර තිබුණේ.
අදාළ දැරිය පෙරේදා පෙරවරු 10ට පමණ නිවසට මීටර 250ක පමණ දුරින් පිහිටි වෙළෙඳසැලකට ගොස් ඇති අතර යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදි, ඇය අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වුණා.
ඇය වෙළෙඳසැලට ගොස් පිටතට පැමිණෙන ආකාරය සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඊයේ රාත්‍රියේ දී මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය ද සිදු කළ අතර, මියගිය දැරියගේ සිරුර පානදුර මූලික රෝහලේ තබා තිබෙනවා.


