හකුරු කර්මාන්තයත් අවදානමක – ඉන්ධන අර්බුදයෙන් උළු කර්මාන්තයේ වැඩත් කොට උඩ

හකුරු කර්මාන්තයත් අවදානමක – ඉන්ධන අර්බුදයෙන් උළු කර්මාන්තයේ වැඩත් කොට උඩ

රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පාලන මිලකින් තොරව අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සීනි ආශ්‍රිත හකුරු නිෂ්පාදනකරුවන් මේ වන විට දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

හකුරු නිෂ්පාදනකරුවන් පවසන්නේ නිසි පාලන මිලක් නොමැතිව අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා හකුරු මිල ද ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

නමුත් ඒ හේතුවෙන් හකුරු සඳහා ඇති ඉල්ලුම පහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම දුෂ්කරතා මධ්‍යයේ සිය කර්මාන්තය පවත්වාගෙන යාම අභියෝගයක් වීම හේතුවෙන් පවුල් 200කට පමණ රැකියා අහිමිවීමේ අවදානමක්ද මේ වන විට මතුව තිබෙනවා.

මේ අතර කඩාවැටීමේ අවදානමට ලක්ව ඇති තවත් කර්මාන්තයක් තමයි දේශීය උළු කර්මාන්තය.

දශක 8කට ආසන්න කාලයක් තිස්සේ මෙරට තුළ ක්‍රියාත්මක සාම්ප්‍රදායික දේශීය කර්මාන්තයක් ලෙස උළු කර්මාන්තය සැලකිය හැකියි.

මෙරට සෙවිලි අවශ්‍යතාවයෙන් සියයට 30 ත් 40 ක් අතර ප්‍රතිශතයක් සපයා ගන්නේ ද දේශීය උළු කර්මාන්තය මගින්.

මෙරට මුදල් පිටරටට ගලායාම නතර වීමට මෙන්ම රැකියා වියුක්තියට පිළියමක් ලෙස ද උළු කර්මාන්තය හරහා ආර්ථිකයට විශාල පිටිවහළක් හිමිවනවා.

මේ වනවිට රට පුරා පිහිටි උළු කර්මාන්ත ශාලා 225 ක් හරහා උළු නිෂ්පාදනය කෙරෙනවා.

කෙසේ නමුත් ඉන්ධන අර්බුදයේ අඳුරු සෙවණැල්ල වැටීමත් සමඟ දේශීය උළු කර්මාන්තය ද මේ වනවිට අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ, උළු නිෂ්පාදනයට අවශ්‍ය භූමිතෙල් සපයා ගැනීමට නොහැකි වීමෙන්.

දේශීය උළු නිෂ්පාදකයින් රජයෙන් ඉල්ලා සිටින්නේ තම කර්මාන්තයට අවශ්‍ය භූමිතෙල් සපයා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකසා දෙන ලෙසයි.

උළු කර්මාන්තය මෙලෙස අකර්මන්‍ය වීමත් සමඟ ඒ තුළින් ජීවිකාව සපයා ගත් විශාල පිරිසක් ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මෙම කර්මාන්ත වලට නිසි විසඳුම් ලබා දීම බලධාරීන් සතු වගකීමක් නොවේද ?