ෂාෆිට හිඟ වැටුප් ගෙවන්න සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වෙලා

ෂාෆිට හිඟ වැටුප් ගෙවන්න සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වෙලා

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවා ඇති බැවින් ඔහුට එකී කාලසීමාව තුළ නොගෙවා තිබූ සියලු වැටුප් හා සෙසු සියලු දීමනාවන් ද ලබන ජූලි මස 10 වන දිනට පෙර ගෙවා දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (ජූනි 8) අභියාචනාධිකරණය හමුවේදී එකඟත්වයට පැමිණ ඇති බව දින පතා පලවෙන පුවත් පතක් වාර්තා කර තිබෙනවා.

විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගණේපොළ යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම එකඟත්වය පල කර ඇති බවට වාර්තා වෙනවා.

සේවයෙන් අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි කාලසීමාව සඳහා ලැබීමට නියමිතව තිබූ සියලු වැටුප්, දීමනා, අතුරු දීමනා, ජීවන වියදම් දීමනා යන සියලු හිඟ ගෙවීම් පෙත්සම්කාර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට ගෙවීමට හැකියාව පවතින බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මීට ඉහතදී අභියාචනාධිකරණයට නීතිපතිවරයා මඟින් දැනුම් දී තිබිණි.

එම පුවත් පත් වාර්තාවට අනුව , කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන කඳන්ගමුව මහතා හමුවේ පැවැත්වෙන විනය පරීක්‍ෂණයට සහභාගිවීමට තමා සූදානම් බැව් පෙත්සම්කාර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් අභියාචනාධිකරණය හමුවේ සපථ වී තිබෙනවා

මෙම සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය සිය පෙත්සම ඉවත් කර ගැනීමට වෛද්‍ය සහාබ්දීන් විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පෙත්සම් විභාගය පවත්වාගෙන යාම අත්හිටුවීමට තීන්දු කළ බව එම පුවත් පත වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.