වෛද්‍ය ෂාෆි හිඟ වැටුප නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප සම්පූර්ණයෙන්ම මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.
මෙම වෛද්‍යවරයාට ඔහුගේ අත්හිටවූ සේවා කාලයට අයත් හිඟ වැටුප් හා දීමනා ජූලි මස 10 වැනි දිනට ප්‍රථමව යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතටයි.
ඒ අනුවයි ෂාෆි වෛද්‍යවරයාට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් දෙ මිලියන හයලක්ෂ හැත්තෑපන්දහස් අටසිය දහසයයි, ශත හතලිස් අටක (2,675,816.48) ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ.
මීට අදාළ චෙක්පත වෛද්‍ය ෂාෆි වෙත ලැබී ඇති අතර, ඔහු තීරණය කර ඇත්තේ, තමන්ට ලද හිඟ වැටුප් හා දීමනා යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමටයි.
ඒ මේ වනවිට රට තුළ දැඩි අර්බුදයක් ව පවතින ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් ලෙස තම හිඟ වැටුප ද එක් කර ගැනීමටයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවීමට තීරණය කෙරුණා.
දීර්ඝ කාලයක සිට විභාග කෙරුණු මීට අදාළ නඩුවේදියි මෙම තීරණය අධිකරණය විසින් ගැනුණේ.
ඒ අනුව අධිකරණය විසින් නියම කරනු ලැබුවේ, ඔහුට එකී කාලසීමාව තුළ නොගෙවා තිබූ සියලු වැටුප් හා සෙසු සියලු දීමනාවන් ගෙවා දැමිය යුතු බවටයි.

