ලංකාව IMF යනවට චීනය අකමැතිද ? හේතුව මොකක්ද ?

අද වෙද්දී ශ්‍රී ලංකාව පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක බව අපි කවුරුත් දන්නා කාරණයක්. අද වෙද්දී අපේ රටේ ඉන්ධන සහ ගෑස් වල ඉඳලා අත්‍යාවශ්‍ය ආහාර සහ බෙහෙත්හේත් දක්වා හැම දේකම මිල මිනිසුන්ට දරා ගන්න බැරි මට්ටමට ඉහළ නැග තිබෙනවා. මෙයට ආසන්නතම හේතුව දුර්වල ආර්ථික කළමනාකරණය නිසා අපේ විදේශ සංචිත හිඳී යාම බව ඇත්ත. නමුත් මේ තත්ත්වය ආරම්භ වෙන්න හේතුව වුණේ පළක් නැති ව්‍යාපෘතිවලට චීනයෙන් අධික ණය ගැනීම බවට කිසිම තර්කයක් නැහැ.
ඉතින් ණය ගෙවන්න තියා අත්‍යාවශ්‍ය ආනයන සඳහාවත් විදේශ විනිමය නොපවතින පසුබිමක ශ්‍රී ලංකාව දැන් නිල වශයෙන්ම විදේශ ණය ගෙවීම පැහැර හැරපු රටක් බවට පත් වෙලා අවසන්. දැන් මේ වෙද්දී අපේ රටේ ඩොලර් බිලියන 51 ක් පමණ වෙන අධික විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ අතරේම අපේ රට IMF එක සමග සාකච්ඡාත් පවත්වන බව කියවෙනවා. කොහොම වුණත් මේ සිදු වෙන කිසිම දේකට වැඩි එකඟතාවක් නැති එක පාර්ශවයක් සිටිනවා. ඒ තමයි අපේ ණය ප්‍රමාණයෙන් 10% කටත් වඩා හිමිකම් කියන චීනය.
චීනයේ කැමැත්තක් නැතිව කිසිසේත්ම අපිට මේ වැඩේ ඉටුකරගන්න බැහැ විතරක් නෙවෙයි, චීනයට අවශ්‍ය නම් සැණින් මේ අර්බුදය විසඳා දමන්නත් හැකියාව තිබෙනවා. ඉතින් ඔවුන් එහෙම නොකරන්නේ ඇයි? අද වීඩියෝවෙන් අපි ඔබට කියන්නේ අන්න ඒ ගැනයි. ඉතින් රැඳෙන්න අදත් මේ වටිනා වීඩියෝවේ අවසාන තත්පර කිහිපය තෙක්.
පළවෙනි කාරණය චීන ව්‍යාපෘති ණය සහ දූෂකයන් පෝෂණය කිරීම. චීනය ලබා දෙන ව්‍යාපෘති ණයවල තිබෙන ගැටළුව ගැන අපි මීට කලිනුත් සවිස්තරාත්මකව කතා කළා. සාමාන්‍යයෙන් වෙනත් රටක් හෝ පිළිගත් අන්තර්ජාතික ආයතනයක් ව්‍යාපෘති ණයක් ලබා දෙන්නේ එය නැවත ගෙවන්න තරම් ආදායමක් එම ව්‍යාපෘතියෙන් ආපසු ලැබෙනවාද කියන එක ගැන හොයලා බලලායි. ඒ වගේම ණය විදිහට ගන්නා මුදල් භාවිත වෙන්නේ කොහොමද කියන එක ගැනත් ඔවුන් විමසිල්ලෙන් සිටිනවා.
කොහොම වුණත් මේ විමසිලිමත් බව තමන්ගේ ගොඩ වැඩි කරගන්න බලාගෙන ඉන්න දූෂිත පාලකයන්ට ඒ තරම් ගැළපෙන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපෘතියක් කිරීම හරහා තමනුත් යම් මුදලක් උපයා ගැනීමයි. ඉතින් වෙනත් රටවල් හෝ අන්තර්ජාතික ආයතන වගේ ලබා දෙන ව්‍යාපෘති ණය වෙනුවට ඔවුන් නිතරම එය චීනයෙන් ලබා ගන්න උත්සාහ කරනවා.
චීනය වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ව්‍යාපෘති ණය නිකුත් කරනවා විතරක් නෙවෙයි, එය නැවත ගෙවන්න තරම් සුදුසු ව්‍යාපෘතියක්ද කියන එකවත් ඔවුන්ට වැදගත් නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ණය ආපසු පොලියත් එක්ක ගෙවීම පමණයි. ඉතින් දූෂිත පාලකයන් කුමක් හෝ පලක් නැති බොරු ව්‍යාපෘතියක් කරන්න කියලා දැවැන්ත චීන ණයක් ලබාගෙන, එයින් වැඩි ප්‍රමාණයක් තමන්ගේ සාක්කුවට දමාගෙන, ප්‍රදර්ශනය සඳහා විතරක් මොකක් හරි ඉදි කිරීමක් පෙන්වලා රටේ ජනතාව රවටනවා. නමුත් කිසිම පලක් නැති ඒ ව්‍යාපෘතිවලට ගත්ත ණය අපිට පසුව පොලීත් එක්ක චීනයට ගෙවා දමන්න සිදු වෙනවා.
දෙවෙනි කාරණය තමයි කාලයක් කරගෙන ආපු වැඩේ සවුත්තු වුණ එක. මේ විදිහට චීන ණයවලින් ප්‍රදර්ශනයට ව්‍යාපෘති කරලා, වැඩි ප්‍රමාණයක් සාක්කුවේ දමාගෙන ජනතාවගේ මුදලින් පොලී සහ වාරික ගෙවීමේ ජාවාරම දූෂිත පාලකයන් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආවා. කොහොම වුණත් හිතුමනාපෙට ගත්ත ණය ප්‍රමාණයේ විශාලත්වය නිසාම ඒවාට ගෙවන වාරික ප්‍රමාණය පවා අපේ රටට දරා ගන්න අපහසු ප්‍රමාණයට පත් වුණා.
කොහොම නමුත් ඒ කාලයේ අපේ රටට තිබුණු සාපේක්ෂව හොඳ rating එකත් එක්ක ISB, එහෙමත් නැත්නම් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර අලෙවි කරන්න ලොකු අපහසුවක් තිබුණේ නැහැ. ඉතින් ඵලක් නැති, ආදායමක් ලැබෙන්නේ නැති චීන ව්‍යාපෘතිවල ණය වාරික ගෙවීම සඳහා මේ ISB නිකුත් කරලා මුදල් සොයා ගැනීම ඊළඟට ආරම්භ වුණා. රටේ credit rating එක සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තිබෙන තුරු මෙයින් ලොකු ගැටළුවක් වුණේ නැහැ. සංචාරක ව්‍යාපාරය හරහා සහ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හරහා හොඳ විදේශ විනිමය ආදායමක් රටට ලැබුණ නිසා මේ වැඩෙත් අපි දිගටම කරගෙන ආවා.
කොරෝනා වසංගතය පැමිණීමත් එක්ක සංචාරක කර්මාන්තය බිඳ වැටීමත්, විදෙස් ප්‍රේෂණ අඩු වීමත් නිසා තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා. Credit rating පහත වැටිලා ISB අලෙවියත් කරගන්න බැරි තත්ත්වයක් ආවා. දීර්ඝ කාලයක් තිස්සේ ණය ගෙවන්නට ණය ගනිමින් කරගෙන ආපු දූෂිත ජාවාරම පත්තු වෙන්නේ අන්න ඒ අවස්ථාවේදීයි. නමුත් සියල්ල ඉබේම හරි යාවි, චීනය අපිව කොහොම හරි බේරා ගනීවි කියලා සිහින දකිමින් අපේ පාලකයන් දිගටම කල් මරමින් සිටියා. ඔවුන් ක්‍රියාත්මක වෙන්න හිතද්දී හොඳටම පරක්කු වැඩියි.
තුන්වෙනි කාරණය තමයි චීනයේ අසාර්ථක වෙමින් පවතින සේද මාවත ව්‍යාපෘතිය. චීනය ශ්‍රී ලංකාවට මහා පරිමාණ ණය දුන්නු ව්‍යාපෘති සියල්ලම වගේ අයිති වෙන්නේ ඔවුන් මහා දැවැන්ත මුදලක් ආයෝජනය කරලා ආරම්භ කර තිබෙන සේද මාවත ව්‍යාපෘතියටයි. මේ හරහා අතීතයේ චීනය සහ යුරෝපය අතර නැව් මගිනුත්, ගොඩබිම් මගිනුත් වෙළඳාම් සිදු වූ සේද මාවත යළි පණ ගන්වන්න ඔවුන් සැරසෙනවා. ඒ සඳහා තමයි මේ මාර්ගයේ ඇති රටවල චීන ණය හරහා දැවැන්ත ව්‍යාපෘති ගණනාවක්ම ඉදි වෙමින් තිබෙන්නේ.
කොහොම වුණත් ඒ රටවල් බොහොමයක වර්තමාන තත්ත්වයත් ශ්‍රී ලංකාවට තරමක් සමානයි. බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන ආරම්භ වුණත් තවමත් මේ ව්‍යාපෘතිවලින් ඒ රටවල ආර්ථිකයට හරි හමන් ආදායමක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් ඒ වෙනුවෙන් ගත්ත මහා විශාල ණය ප්‍රමාණයේ වාරික ගෙවීමට ඔවුන්ට දැනටමත් සිදු වී තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව තරමටම නැතත් මේ රටවල් බොහෝමයකුත් දැනට ප්‍රයෝජනයක් නොලැබෙන ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් ණය වෙලා ඉවරයි.
චීනය තමන්ගේ රට තුළ බොහොම දරුණු මාධ්‍ය මර්ධනයක් ක්‍රියාත්මක කළත් අනෙක් රටවල පවතින මේ යථාර්ථය ඔවුන්ට ලෝකයෙන් වසන් කරන්න පුළුවන් වෙලා නැහැ. මේ නිසා සේද මාවත ව්‍යපෘතියට එකවරම අවතීර්ණ නොවී ටිකක් කල් ගත්ත රටවල් බොහොමයක්, මේ වෙද්දී එහි භයානක ප්‍රතිඵල තේරුම් අරගෙන එයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරන්න පටන් අරන්. මේ නිසා එහි දිගුකාලීන සාර්ථකත්වය ගැන මේ වෙද්දී ප්‍රශ්නාර්ථයක් මතු වෙලා තිබෙනවා.
ලොකුම බිල්ල වූ ශ්‍රී ලංකාවට උදව් කරන්න චීනය බය ඇයි? අපේ රටේ හම්බන්තොට වරාය දිගු කාලීන බද්දට ගැනීමත් එක්ක බොහෝ රටවල් තුළ චීනය ගැන විශාල අප්‍රසාදයක් ඇති වුණා. ඒ වගේම කොරෝනා වසංගතය නිසාත් චීනයට ඍජුවම චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. මේ නිසා ආර්ථික අර්බුදයේ දරුණුම තත්ත්වයකට ඇද වැටුණු ශ්‍රී ලංකාවට ඔවුන් හැකි උපරිමයෙන් උදව් කරලා හොඳ නමක් දිනා ගනීවී කියලයි කවුරුත් හිතුවේ. අපේ දූෂිත පාලකයන් පවා චීනය අපිව බේරා ගන්නා තුරු කකුල් හොලවමින් බලාගෙන සිටියේ අන්න ඒ විශ්වාසය නිසායි.
කොහොම වුණත් අපේ මහා අවාසනාවකට වගේ, චීනය සේද මාවත වෙනුවෙන් වැය කර ඇති ඩොලර් බිලියන සිය ගණනක ප්‍රමාණය එක්ක බලද්දී, ශ්‍රී ලංකාව ගලවා ගැනීමට ඔවුන් ලොකු ප්‍රමුඛතාවක් දීලා නැහැ. චීනය නිතරම ඔවුන්ගේ ණය නිසා මේ තත්ත්වය ඇති වූ බවට තිබෙන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපේ රටට මේ වෙලාවේ ලොකුවට උදව් කරන්න ගියොත්, එය ඔවුන් අපේ රට පත්වෙලා තිබෙන තත්ත්වයට වගකීම භාර ගැනීමක් විදිහට ප්‍රසිද්ධ වේවි කියලා චීනය බයයි. අපිට සුළු සහන දෙමින් ප්‍රදර්ශනාත්මක උදව් විතරක් කරන්න ඔවුන් යොමු වෙලා ඉන්නේ ඒ නිසා.
අනෙක් දේ තමයි චීනය ඔවුන්ට තිබෙන මහා ණය කන්දරාව කපා හැරීමට හෝ යම් සහන කාලයක් සැලසීමට තිබෙන අකමැත්ත. මෙයටත් ලොකු හේතුවක් තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විටත් චීන ණය උගුලේ භයානක කමට ලෝකයේ තිබෙන හොඳම උදාහරණය බවට පත් වෙලා. ඉතින් අපිට වෙලාවේ යම් සහනයක් ලබා දුන්නොත්, සේද මාවත ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන ගණනින් ණය ගත්ත අනිත් රටවලුත් ණය කපා දමන්න ඉල්ලීම් කරාවි කියලා, චීනය විශාල බියකින් ඉන්නේ.
IMF යන්න එපාම කියන්නේ ඇයි? අපේ රට ආර්ථික අර්බුදයකට යන බව 2021 ඉඳලාම බොහෝ දෙනෙක්ට පැහැදිලිවම පෙනෙන ලකුණු මතු වෙලා තිබුණා. කොහොම නමුත් අපේ පාලකයන් එයට නිසි පිළියම් යොදන්න උත්සාහ නොකර, තත්ත්වය තවත් ඔඩු දුවන්න දුන්නේ ඇයි කියන එකත් අද හෙළිදරව් වී තිබෙනවා. ඒ බොහෝ දුරට චීනයේම බලපෑම නිසා. IMF එකට ගිහින් ණයක් අරගෙන, රටේ ආර්ථික තත්ත්වය යහපත් කරන පියවර ගන්න එකට චීනය තදින්ම විරුද්ධයි.
ඔවුන් මේ විදිහට එයට විරුද්ධ ඇයි කියන එකට මතවාද ගණනාවක්ම තිබෙනවා. එකක් තමයි අපේ රටේ ආර්ථික ව්‍යුහය රට ගොඩ නගන්න සුදුසු විදිහට යාවත්කාලීන වුණොත් චීනයේ ණය ගන්න අපේ රටට අවශ්‍යතාවක් නැති වෙන බව. රටට ඵලදායී, හොඳ ආපසු වටිනාකමක් තිබෙන ව්‍යාපෘතිවලට ණය ලබා ගන්න ඕන තරම් අන්තර්ජාතික ආයතන සහ රටවල් ලෝකයේ තිබෙනවා. චීන ණය අවශ්‍ය වෙන්නේ එහෙම විනිවිදභාවයක් නැතිව ප්‍රදර්ශනයට කරන ව්‍යාපෘති සඳහා ණය ගන්නයි. ඉතින් අපේ රට මේ පවතින දූෂිත තත්ත්වයේම තිබිලා, තවත් මේ වගේම දූෂිත පාලකයන් දිගටම පත් වෙන එක චීනයට වාසිදායක බවයි කියවෙන්නේ.
අනෙක් කාරණය තමයි චීනයට අපි දැනටමත් තිබෙන දැවැන්ත ණය කන්දරාව. IMF ණයක් ගන්න කලින් එය ගෙවන්න සුදුසු ආර්ථික පසුබිමක් රටේ ඇති කරන්න අවශ්‍ය නිසා, පවතින සියලුම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යයි. කොහොම වුණත් තමන්ට තිබෙන ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කරන්න අකමැති බව දන්වමින් චීනය දැනටමත් එයට හරස් කපන්න පටන් අරන් තිබෙනවා.
චීනයේ යෝජනාව මොකක්ද කියන එකත් මේ ඉතාම වැදගත්. ඉතින් IMF යන්නත් එපා නම්, අපේ රටේ ආර්ථික ව්‍යුහය වෙනස් කරන්නත් එපා නම් චීනය අපිට යෝජනා කරන්නේ මොකක්ද? ඔවුන් තවමත් ඒ ගැන අපිට කිසිම පැහැදිලි යමක් ප්‍රකාශ කරලා නැහැ. ඒ වගේම කලින් අපි කතා කරපු විදිහට ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ඔවුන්ට කිසිම උනන්දුවක් නැහැ. කොහොම වුණත් තවත් ඩොලර් බිලියනයක් ණය ලබා ගන්නත්, චීනයෙන් ආනයනය කරන දේවල් වෙනුවෙන් තවත් ඩොලර් බිලියන එක හමාරක credit line එකක් ලබා ගන්නත් අපි කළ ඉල්ලීම සලකා බලන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
දැනට පේන විදිහට චීනය එකඟ වෙන එකම විසඳුම තවත් මොනවා හෝ දැවැන්ත ව්‍යාපෘති කිරීම සඳහා ඔවුන්ගෙන් ණය ගන්න එකම පමණයි. ඒ වගේම ඔවුන්ගේ ණය ගෙවා දැමීම සඳහා ණයක් ලබා දෙන්නත්, ණය ගෙවීම් කාල සීමා පමණක් දීර්ඝ කරන්නත් ඔවුන් කැමැත්ත පළ කර තිබෙනවා. හැබැයි මේ ක්‍රමවලින් සිදු වෙන එකම දේ චීනයට ගෙවන්න තිබෙන ණය වාරිකවල ප්‍රමාණය ටිකක් අඩු වෙලා, අපි ඔවුන්ට ගෙවන්න තිබෙන සමස්ත ණය ප්‍රමාණය සහ පොලී ප්‍රමාණය තවත් ඉහළ යන එක විතරමයි.
මේ එකම විසඳුමක්වත් අපිට හරි යන ඒවා නොවන බව අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. කොහොම වුණත් හැම දෙයක්ම සාර්ව, එහෙමත් නැතිනම් macro මට්ටමෙන් පමණක් දකින චීනය මේ මොහොතේ සේද මාවත බේරා ගැනීම, ශ්‍රී ලංකාවට උදව් කිරීමට වඩා වැදගත් කියන මතයේ සිටීම සැබැවින්ම අපි කාගේත් අවාසනාවක්.
චීනයේ යටිකූට්ටු උත්සාහයන් නිසා මේ වෙද්දී චීනයට ශ්‍රී ලංකාව තුළ පවතින බලය තරමක් ගිලිහී ගිහින් තිබෙන බව පැහැදිලිව දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම චීනය තමන්ගේ වගකීම මගහැරීමත් එක්ක ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් වගේම බටහිර රටවලුත් අපිට ඍජුව උදව් කරන්න පෙළඹිලා ඉන්නවා. කොහොම වුණත් චීනය තමන්ගේ බලය යළිත් මෙරට පැතිරවීමේ අරමුණ ඉටු කරගන්න, දැනටමත් යටි කූට්ටු උත්සාහයන් කිහිපයක්ම ගනිමින් සිටින බවයි පෙනෙන්නේ.
ඒ හරහා චීනයේ කොමියුනිස්ට් ක්‍රමයට හිතවත් ඇතැම් පක්ෂ සමගත්, වෙනත් විකල්ප කණ්ඩායම් එක්කත් සාකච්ඡාවට ඔවුන් තමන්ගේ රහස් නියෝජිතයන් මෙරටට ඒවා ඇති බවටත් නිල නොලත් වාර්තා ඵල වෙනවා. ඒ වාර්තා සත්‍ය නම් චීනයේ සැබෑ අරමුණ අපේ රටට උදව් කිරීම නොව ඔවුන්ගේ බලය නැවතත් තහවුරු කරගැනීම පමණයි. එවැනි තීරණයකින් රටක් විදිහට, ජනතාවක් විදිහට අපිට විඳින්න වෙන පීඩා ගැන ඔවුන් වැඩි තැකීමක් කරන්නේ නැහැ.

