රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක්

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රට තුල ඉන්ධන සැපපයීම සීමා වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ තම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම දුෂ්කර වීම සැළකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
මේ අනුව දැනටමත් රජයේ කාර්යාල විවෘත නොකරන ලෙසට උපදෙස් ලබාදී ඇති සිකුරාදා දිනයට අමතරව යෙදෙන සතියේ ඉතිරි වැඩ කරන දිනවල ද ලබන සඳූදා (20) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමටයි තීරණය කර ඇත්තේ.
රජයේ කාර්යයන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තීරණය කිරීම අදාළ ආයතනයේ ප්‍රධානීන්ට පැවරෙනවා.
එසේම අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන අවස්ථාවේදී වුව ද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.
එලෙස සේවා මුරයක් හෝ විධිමත් ක්‍රමවේදයක් සැකසීමෙන් පසු යම් නිලධාරියෙකු ඒ අනුව සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් පමණක් එම දිනය නිලධාරියාගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කිරීමට පියවර ගත යුතු බවටයි දන්වා ඇත්තේ.
සේවා මුර ක්‍රමයට හෝ සේවයට කැඳවීමට අනුගමනය කරන විධිමත් ක්‍රමවේදයට අනුව සේවයට නොකැඳවූ දිනයකදී වුව ද සෑම රාජ්‍ය නිලධාරියෙකුම මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදීමට සූදානම්ව සිටිය යුතු වනවා.
එක් ප්‍රදේශයක පිහිටි රජයේ කාර්යාල වෙත නිලධාරීන් සේවයට කැඳවීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කර අවශ්‍ය බස් රථ ලබාගැනීමට එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගත යුතු බවටයි දන්වා ඇත්තේ.
සේවයට පැමිණෙන නිලධාරීන්ට ද සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට උපදෙස් ලබාදෙන අතර කාර්යාල අසල ස්ථිරව හෝ තාවකාලිකව නතරවී සිටින නිලධාරීන්ට ආයතන සතු සංචිත වාහන උපයෝගී කර ගෙන මනා පිරිවැය කළමනාකරණයකින් යුතුව ප්‍රවාහන පහසුකම් සලසා දීමටත් ක්‍රියාකරන ලෙසට ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.
අධිකරණ ක්ෂේත්රයට අයත් නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිසම විසින් ලබාදෙනු ඇති.



