ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනී කොතලාවල දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පිනී  ලියෝනී කොතලාවල දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගනවේදිනී ලියෝනී කොතලාවල අද දින (19) සිය දිවිසැරිය නිමා කළා.

මියයන විට ඇය වයස අවුරුදු 74 වන වියේ පසු වුවා.

ඇගේ වියෝව පිළිබඳව පුතු අදහස් දක්වමින් සඳහන් කළේ, කලක් රෝගාතුරව සිටි ඇය අද (ජූනි 19) උදෑසන නිවසේදී අභාවප්‍රාප්ත වූ බව ය.

ජූනි 22 වන බදාදා බොරැල්ල සුසාන භූමියේදී ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව ඔහු පැවසීය.

වයස අවුරුදු 17දී රංගනයට පිවිසි ඇය, දශක 6කට ආසන්න කාලයක් ශ්‍රී ලංකේය වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන් ම රිදී තිරය ද බැබළුවා ය.

1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇය රංගනයට පිවිසියා ය.

සාමා නාට්‍යයේ චරිතය වෙනුවෙන් ඇය හොඳ ම නිළියට හිමි සම්මානය ද දිනා ගත් අතර පසු කලෙක එම නාට්‍යය නමින් ම සාමා චිත්‍රපටය නිර්මාණය විය.

එහි ද සාමාගේ චරිතයට පණ පෙවීමට ලියෝනි කොතලාවල මහත්මියට අවස්ථාව ලැබුණු අතර එකල ඇතිවූ ගැටලු හේතුවෙන් එම චිත්‍රපටය තිරගත කිරීමට නොහැකි වී තිබිණි.

කෙසේ වෙතත්, 1964 වසරේ තිරගත වුණු ‘චණ්ඩාලි’ චිත්‍රපටය ඇයට ශ්‍රී ලංකේය සිනමාවේ දිගු ගමනක් යාමට ඉඩහසර සැකසීය.

1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය.