අද දිනුවොත් වසර 30ක පැරණි වාර්තාවක් අලුත් වෙයි

අද දිනුවොත් වසර 30ක පැරණි වාර්තාවක් අලුත් වෙයි

ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටිනවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරඟ පිට පිටම ජය ගනිමින්.

ශ්‍රී ලංකාව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට පසුවයි. 1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයක දී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට අපොහොසත් වුණා.

එහෙත් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තුන්වන එක්දින තරග 2ම ජය ගනිමින් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණට පැමිණ තරගාවලි ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටිනවා. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වෙද්දී දෙවැනි තරගයෙන් ලකුණු 26 කින්ද, තුන්වන තරගයෙන් කඩුලු 6 කද විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාව වාර්තා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන සිව්වැනි එක්දින තරගයට අවතීර්ණ වන්නේ දැඩි ආත්ම විශ්වාසයකින්.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙතෙක් ලබා සිටින ජයග්‍රහණය ආරක්ෂා කරගැනීමයි. ගෙවී ගිය වසර කීපයේදී ඇතැම් තරගාවලි ජයගැනීමට සමත්වුවත් බහුතරයක් තරගාවලි පරාජයට හේතුවූ ප්‍රධානම කරුණ වූයේ ලබා සිටින ජයග්‍රහණයන් ආරක්ෂා කර ගැනීමට නොහැකිවීමයි.

අද තරඟය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ අවකාශ උදාවනවා සේම වසර 31 කට පසු පළමු වතාවට ‘කැන්ගරුවන්ව’ සිය මවුබිමේදී පළමු වතාවට පරාජය කිරීමටද සමත්වනු ඇති.

ශ්‍රී ලංකා අපේ ක්‍රිකට් කණ්ඩායමට “My newslanka” අපි සුබ පතනවා අද තරඟයත් ජය ගන්න ලැබෙන්න කියලා.

COMMENTS