ගෘහ සේවය සඳහා විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබී.
ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25ක් ද අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා අවුරුදු 23ක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21 ද ලෙස පැවතිණි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන එකී වයස් සීමා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට 2022 ජුනි මස 6 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබිණි.
ඒ අනුව, අදාළ අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාගත කිරීමේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

