පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඇඩ්‍රස් නෑ

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඇඩ්‍රස් නෑ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරුන්ගේ පදිංචි ලිපිනයන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි මන්ත්‍රීවරුන්ගේ දත්ත ඇතුලත් කොටසේ දැනට දැකගත හැකි වන්නේ කාර්යාල දුරකතන අංකය සහ රැස්වීම් දිනවල දී මන්ත්‍රීවරුන් සම්බන්ධ කර ගත හැකි ජංගම දුරකතන අංකයක් පමණි.

නමුත් මීට පෙර එම දත්ත අතරට ඔවුන්ගේ පදිංචි ලිපිනයන් ද ඇතුලත්ව තිබුණා.

රටේ පවත්නා තත්ත්වය හේතු කොටගෙන අදාළ වෙබ් අඩවියෙන් සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පදිංචි ලිපිනයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා.

ඉකුත් 9 වැනි දා රට තුළ ඇති වූ කළහකාරී සිද්ධීන් නිසාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ ම නිවාස සහ දේපළවලට හානි කිරීම් රැසක් ම දිවයිනේ ස්ථාන ගණනාවකින් ම වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් පහුගිය පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක දී ම මන්ත්‍රීවරුන් සිය කතාවාරයන්හි වැඩි අවධානයක් ද යොමු කරනු දක්නට ලැබුණා.