මත විමසුමකින් වත්මන් ලංකාව ගැන හෙලිවුන දේ

මත විමසුමකින් වත්මන් ලංකාව ගැන හෙලිවුන දේ

Gallup Style “Mood of the Nation” “ජාතියේ මනෝභාවය” මත විමසුමේ දෙවැනි වටය 2022 ජූනි මාසයේ මත විමසුමේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

මෙම මත විමසුමේ 2022 ජනවාරි මාසයේ ප්‍රතිඵල හා සාපේක්ෂ ව ජූනි මාසයේ ප්‍රතිඵල පෙන්වන්නේ බරපතළ පසුබෑමක් සහිතව යි.

වෙරිටේ රිසර්ච් Verite Research ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ දී පළමු වරට මෙම සමීක්ෂණය සිදු කළ අතර ජුනි මාසයේ දී මෙම සමීක්ෂණය පවත්වා ඇත්තේ දෙවැනි වරට යි.

එම සමීක්ෂණය හරහා රජය, රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතියේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කර තිබෙනවා.

2022 ජූනි මාසයේ දී පවත්වන ලද මෙම මත විමසුම පදනම් වී ඇත්තේ, ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,052 දෙනෙකුගේ දීප ව්‍යාප්ත ජාතික නියෝජිත ප්‍රතිචාර නියැදියක් මත යි.

ජනවාරි මාසයේ දී මෙම සමීක්ෂණය සඳහා රට පුරා තෝරා ගත් වැඩිහිටි පුද්ගල නියැදි 1021ක් යොදාගෙන තිබුණා.

මේ සඳහා සමීක්ෂණ සහාය ලබා දී ඇති vanguard survey පෞද්ගලික ආයතනය එක්සත් ජනපදයේ ගැලප් ආයතනය එරට ජනතා මතය විමසුමට ලක් කිරීම සඳහා නිර්මාණය කර තිබෙන ප්‍රශ්ණාවලිය සහ ගණනය කිරීම ශ්‍රී ලංකාවට ඔබින ලෙස සකසා ගෙන තිබෙනවා.

මෙහි දී රජය ගැන අනුමැතිය යටතේ වත්මන් රජය වැඩ කරන ආකාරය පිළිබඳව ඔබ අනුමත කරනවා ද? නැති ද? යන පැනයට 2022 ජනවාරි මාසයේ දී ශ්‍රේණිගත කිරීම 10%ක් වී තිබූ අතර එය 2022 ජූනි මාසයේ දී 3%ක් දක්වා පහත වැටී තිබෙනවා.

මෙම ප්‍රශ්නාවලියේ දෙවැනියට විමසන ලද්දේ, රට ගැන තෘප්තිය සම්බන්ධයෙන්.

එහි දී පොදුවේ ගත් කළ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේවල් සිදු වන ආකාරය පිළිබඳ ඔබ සෑම සෑහීමකට පත්වනවා ද? නැති ද? යනුවෙන් විමසා සිටියා.

එම ප්‍රශ්නයට ඔවුන් 2022 ජනවාරි මාසයේ දී 6%ක ප්‍රසාදයක් සටහන් කර තිබූ අතර එය ජූනි මාසයේ දී 2% දක්වා නාය ගොස් තිබුණා.

තෙවැනියට ආර්ථික තත්වය ගැන ඇති විශ්වාසය සහ එහි ගමන් පථය පිළිබඳව බහුවරණ ප්‍රශ්න දෙකක් මත පදනම් ව මත විමසුම් සිදු සිදු කළ අතර, ඒ සඳහා පසුගිය ජනවාරියේ දී ලැබී තිබුණේ, -83ක ප්‍රතිචාරයක්.

එම යොමු කිරීම සඳහා ජුනි මාසයේ දී ලැබී තිබුණේ, 96ක ප්‍රතිචාරයක්.

ඒ අනුව පවතින රජයේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ රට තුළ කිිසිදු ආකාරයක සාධනීය ප්‍රතිචාරයක් නොමැති බව යි තහවුරු වන්නේ.