බස් ධාවනය දැඩි අර්බුදයක

සමස්ත පෞද්ගලික බස් දහඅට දහසක් අතරින් ඊයේ ධාවනය වූයේ බස් රථ දහසක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.
ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හා බස් රථවලින් සියයට අනූවක්ම පෝලිම්වල පැවතීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද හෙතෙම කීවේය.
අද දිනයේදී බස් රථ 2000 ක් හෝ ධාවනය කිරීමට හැකිවනු ඇති බවත් ලංගම ඩිපෝ හරහා ඩීසල් ලීටර් 75 බැගින් පෞද්ගලික බස් රථවලටද සැලකිය යුතු පරිදි ඩීසල් ඊයේ ලැබී තිබුණු බවත් හෙතෙම කීවේය.
එමෙන්ම බස් ගාස්තුව වැඩිවීම හා අඩු බස් සංඛ්‍යාවක් ධාවනය යෙදීම නිසා බස් රථයකින් ලැබෙන ආදායම තුන්ගුණයකින් වැඩි වී තිබෙන බවත් මේ වාසිදායක තත්ත්වය වාසියකට ගනිමින් ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබාදීම සීමා කර තිබෙන බවත් හෙතෙම කීවේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පන්දහසක් අතරින් 4000 ක්ම ධාවනය කරන බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච් පණ්ඩුක ස්වර්ණහංස පැවසීය.
ටයර් හා බැටරි නොමැතිවීමෙන් බස් රථ දහසක් පමණ ධාවනය නොවන නමුත් ඉදිරි සතිය වනවිට එම ගැටලුව නිරාකරණය වනු ඇතැයිද හෙතෙම කීවේය.
එමෙන්ම පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඩිපෝ 100 ක් හරහා සිදුකරන බවද ඔහු කියා සිටියේය.

