මහේශාක්‍යගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන

මහේශාක්‍යගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන

මහේශාක්‍ය ඇතාගේ මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳව පොලිස්පතිවරයාට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට සති එකහමාරකට පමණ පෙර තවත් ඇතෙකු සමඟ ඇති වූ සටනක දී තුවාල ලබා කැබිතිගොල්ලෑව රක්ෂිතයෙහි දින ගණනාවක සිට පණ අදිමින් සිටි මහේශාක්‍ය ඇතාට පශු වෛද්‍ය නිලධාරීන් විසින් ප්‍රතිකාර කරමින් සිටින අතරතුර කිසියම් පිරිසක් විසින් එම ඇතාගේ දළ කපාගෙන ගොස් තිබුණා.

වනජීවි නිලධාරීන් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඊයේ (07) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළා.

කැබිතිගොල්ලෑව පොලිසිය ඊයේ පොලිස් නිල සුනඛයින් ද යොදා ගනිමින් මෙම ඇතාගේ දළ කපාගෙන ගිය පුද්ගලයින් සම්බන්ධයෙන් සෙවීමට විමර්ශන ආරම්භ කර තිබුණා.

පසුව පොලිස් නිල සුනඛයින් ඒ අසල ඔයක් වෙත ගොස් නතර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ඇතා අසාධ්‍ය තත්ත්වයට පත්වන තෙක් වනජීවි නිලධාරියෙකුගේ අවධානයට යොමු නොවීම මෙන්ම ඔවුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම මරණය සිදුව ඇත්ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කරන බවයි.