ඇඳිරි නීතිය ගැන අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇඳිරි නීතිය ගැන අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇඳිරි නීතිය පැනවීම හරහා රජය ජනතා ගැටලුවලට විසඳුම් සොයනවා වෙනුවට මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වීමට සූදානම් බව පෙන්නුම් කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

වත්මන් රජයට තවදුරටත් රට පාලනය කළ නොහැකි බව සහ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාගේ පාලනය අසාර්ථක පාලනයක් බවට පෙන්නුම් කෙරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුම් සොයනවා වෙනුවට ඔවුන් මර්දනකාරී පිළිවෙතකට අවතීර්ණ වීමට සූදානම් බව ඇඳිරි නීතිය පැනවීම හරහා පෙන්නුම් කෙරෙන බව අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ඊයේ (08) රාත්‍රි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ රජයකට පැවරෙන ප්‍රධාන වගකීමක් වන්නේ ජනතාව රැක බලාගෙන ඔවුන්ගේ මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම බවයි.

එසේ නොමැතිව ජනපති අගමැති මෙන්ම රජය ජනතාවගේ ධනය වැය කරමින් ජනතා අවශ්‍යතා ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් එවැනි රජයක් පවත්වා ගැනීමෙන් ඵලක් නොවන බවයි ඔහු අවධාරණය කරනවා.

ජනතාවගේ කිසිදු මූලික උවමනාවක් ඉටු කිරීමට රජය සමත්ව නොමැති අතර ජනගහණයෙන් සියයට 22ක් මේවන විට ආහාර සපයා ගැනීමේ අසීරුතාවට මුහුණදී ඇතැයි රජයේ වාර්තා මගින්ම පෙන්නුම් කෙරෙන බව අනුර දිසානායක සඳහන් කළා.

එමෙන්ම පවුල් හැට දහසකට ආසන්න ප්‍රමාණයක් දෛනිකව ආහාර සපයා ගැනීමට නොහැකිව නිරාහාරව සිටින බව ද රජයේ වාර්තා මගින් පෙන්නුම් කර ඇතැයි ඔහු කියාසිටියා.

ළමුන්ගේ අධ්‍යාපනය වසර ගණනක සිට අඩාල වී ඇති අතර ඖෂධ සපයා ගැනීමට නොහැකිවා මෙන්ම ගෑස් ඉන්ධන කිරිපිටි ලබා දීමට නොහැකිව ජනතාව දුෂ්කරතාවට පත්ව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පෙන්වා දෙන්නේ.

රට මේවන විට විශාල වියවුලකට පත්ව ඇති අතර වත්මන් අගමැතිවරයාගේ සහ ජනපතිගේ හැසිරීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ට ජනතා ගැටලුවලට විසඳුම් සෙවීමට අවශ්‍යතාවක් නොමැති බව අනුර දිසානායක කියාසිටියා.

ජනතාවගේ ගැටලුවලට කිසිදු සංවේදීතාවක් ඔවුන්ට නොමැති බව ද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පෙන්වා දෙනවා. එබැවින් මෙවැනි පාලකයින් පලවා හැරිය යුතු අතර ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදෙන්නේ නම් එවැනි පාලනයන් පලවා හැර පිළිතුරු ලබාදීමට සූදානම් පාලනයක් ගොඩනගා ගැනීමට ජනතාවට සාධාරණ යුක්ති සහගත අයිතියක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

COMMENTS