දින 7ක් තුළ අලුත් ජනාධිපතිවරයෙක් – කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (ජූලි 14) දින සිට සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (ජූලි 15) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
ඒ අනුව, නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගන්නා තෙක් එම තනතුරේ කාර්ය සහ වගකීම් ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාව ප්‍රකාරව අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනු ඇති බව ඔහු පැවසීය.
කතානායකවරයා ප්‍රකාශ කළේ, නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම තමන් පක්ෂ නායක රැස්වීමේදී සියලු පක්ෂ නායකයින් දැනුවත් කළ ආකාරයට, 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය ප්‍රකාරව සිදු කරන බව ය.
එම ක්‍රියාදාමය ඉතා ඉක්මනින් ම සාර්ථකව අවසන් කිරීම තම අරමුණ බව ත් එය උපරිම ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ විනිවිදභාවයකින් සිදු කරන බව ත් ඔහු අවධාරණය කළේ ය.
ඊට උපරිම සහය ලබා දෙන ලෙස ඔහු සියලු පක්ෂ නායකයින්ගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
එමෙන් ම, නිසි ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම මන්ත්‍රීවරුන් හට නිදහසේ තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීමට හා රැස්වීම සඳහා සහභාගි වීමට සුදුසු සාමකාමී වාතාවරණයක් උදාකර දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, එවැනි සාමකාමී වාතාවරණයක් තුළ සියලු වගකිව යුත්තන්ගේ සහභාගිත්වයෙන් දින 7ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ක්‍රියාදාමය අවසාන කිරීමට බලාපොරොත්තු වන බව ය.
ඒ අනුව, හෙට (ජූලි 16) පාර්ලිමේන්තුව රැස්වන බව ත් සියලු ම මන්ත්‍රීවරුන්ට සහභාගි වන ලෙස ත් කතානායකවරයා වැඩිදුරට ත් දැනුම් දුන්නේ ය.

