නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක සහය ඩලස්ට

නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක සහය ඩලස්ට

ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

අද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියි.

ඒ අනුව පක්ෂය නියෝජනය කරන නව දෙනකු ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය ලබාදෙන බව මහලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙවන් පසුබිමක ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්ව පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදියි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ විපක්ෂයත්, ආණ්ඩු පක්ෂයත් අතර අද ගොඩනැගී ඇත්තේ මතවාදයකට වඩා සම්මුතිවාදයක් බවයි.

තමන් ජනපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවත්, සමගි ජනබලවේගයේ සහය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදෙන බවත්, විපක්ෂ නායකවරයා මීට පෙර සඳහන් කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් අද පස්වරුවේ කියා සිටියේ සමගි ජනබලවේගය ගත් තීරණය අනුව යමින් තම පක්ෂයද හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දැක්වීමට තීරණය කළ බවයි.

එසේම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අද පස්වරුවේ තීරණය කළේ හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමටයි.

කෙසේ වෙතත් හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී සහය ලබාදෙන්නේ කුමන පාර්ශවයටදැයි දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය මේ වනතුරු නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.