රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම තවදුරටත් සීමා කෙරේ

රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම තවදුරටත් සීමා කෙරේ

රජයේ කාර්යාල සඳහා රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීම සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා.

සේවයට වාර්තා කිරීමේදී රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගෙන ඊට සහන සැලසීමට අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබුණේ පසුගිය ජුනි මස 20 වනදා සිටයි.

කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අද යළි චක්‍ර ලේඛයක් නිකුත් කළේ ඉදිරි මාසයක කාලසීමාව සඳහා වලංගු වන පරිදියි.

අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ නිවේදනය කළේ සේවයට වාර්තා කිරිමේදී රජයේ නිලධාරීන් විසින් මුහුණ දෙනු ලබන අපහසුතා සැලකිල්ලට ගෙන ඒ සඳහා සහන සැලසීමට නිකුත් කරනු ලබන චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගී කර ගනිමින් සේවයට වාර්තා කළ හැකි නිලධාරීන් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වග බලා ගත යුතු බවයි.

රට තුල පවතින ඉන්ධන හිඟය මගහැරවීම සඳහා ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවාවවන් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති.

එම කරුණු සැලකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටු කළ නොහැකි රාජකාරී සඳහා හා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට මෙම චක්‍රලේඛ විධි විධාන බාධාවක් නොවන බව ද අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දෙනවා.