ගෝඨාභය මේ වෙලාවේ ලංකාවට එන එක සුදුසු නෑ..යළි කලබල ඇතිවෙන්න පුළුවන් – ජනපති රනිල්

ගෝඨාභය මේ වෙලාවේ ලංකාවට එන එක සුදුසු නෑ..යළි කලබල ඇතිවෙන්න පුළුවන් – ජනපති රනිල්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මෙම අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම, ආර්ථික අ‍ර්බුදය හේතුකරගනිමින් තමන් නෙරපා හැරීමට පෙළ ගැසී සිටි දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් අතර යළි විරෝධයක් ඇති කළ හැකි බවයි ජනාධිපති වික්‍රමසිංහ කියා ඇත්තේ.

දැඩි මහජන විරෝධතා මධ්‍යයේ, ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට ගොස් අනතුරුව සිංගප්පූරුව බලා යාමෙන් පසුව ඉකුත් ජූලි 13 වැනිදා හිටපු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස් වීම නිවේදනය කළා.

අනතුරුව ඔහු සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහුගේ කෙටි කාලීන ගමන් බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය අවසර ලබාදී තිබුණු බව පසුගිය දා සිංගප්පුරු ද ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත් වාර්තා කළා.

කෙසේ වෙතත්, පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී නො සිටි බවත්, ඔහු යළි මෙරටට පැමිණීමට අපේක්ෂා කරන බවත්ය.

එසේ ම ‘ද ස්ට්‍රෙට් ටයිම්ස්’ සමග අදහස් දක්වා තිබුණු නම් හෙළි කිරීමට අකමැති වූ මෙරට රජයේ ඉහළ නිලධාරියෙකු කියා ස්ටියේ, හැකි ඉක්මනින් ම හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එසේ පැමිණ ඔහු අගනුවර ආසන්නයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේ නැවතත් ජීවත් වීමට උනන්දුවෙන් පසුවන බවයි.

මේ අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හිටපු ජනපතිවරයාට මෙරටට පැමිණීමට තව ම සුදුසු කාළය එළඹ නැතැයි තමා විශ්වාස කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නලය සමඟ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවක දී කියා තිබුණා.

එසේ ම රටේ ආර්ථිකය පිළිබඳ අදාළ ජර්නලය වෙත අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා ඇත්තේ, “මම හිතන්නේ අපි දැනටමත් ගල් පතුළට වැදිලා ඉවරයි. මට උමඟ කෙළවරේ ආලෝකය පේනවා. අපි උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් එයට ළඟා වීමටයි,” යනුවෙන්.

https://reut.rs/3BN27Rx