අරගලයේ සියලු දෙනා මට විරුද්ධ නෑ – ජනපති

අරගලයේ සියලු දෙනා මට විරුද්ධ නෑ  – ජනපති

අරගලයේ සැබෑ ජනතා අපේක්ෂාව ජයග්‍රහණය කරවීමට නම් එහි අයහපත් පැතිකඩ ඉවතලා යහපත් අරමුණු සමඟ සියලු දෙනා යළි ඒකරාශිවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහජන සභාව සමඟ ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් සමඟ මේ වන විට සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සහ රටේ සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ එහිදි දර්ඝ ලෙස සාකච්ඡා කෙරණු බව සිහිපත් කළේය.

ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ පමණක් තවම සාකච්ඡා කිරීමට ඇති බව ජනාධිපතිතුමා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“අරගලකරුවන් කියන්නේ එක කණ්ඩායමක් නෙවේ. කණ්ඩායම් ගණනාවක්. ඒ සියලු දෙනා මට විරුද්ධ නැහැ. අරගලයේ නිරත පිරිසක් අදත් පැමිණ සාකච්ඡා කළා. සාමකාමී අරගලකරුවන් සියලුදෙනා අපිත් සමඟ සාකච්ඡා කරනවා. විරුද්ධ අයත් ඉන්න පුලුවන්. ඒත් සියලුදෙනා අපිට විරුද්ධ නැහැ.

මොවුන් ඉතා නිර්මාණශීලි අය බව කිව යුතුයි. මම එය අගය කරනවා. ඒත් ඇතැම් වෙලාවක අරගලය ප්‍රචණ්ඩත්වයට ගියා. අපි ඒක පිළිගන්න ඕන, උදේ මමත් එක්ක සාකච්ඡා කළ අය ප්‍රකාශ කළේ ප්‍රචණ්ඩත්වය නිසා තමන් අරගලයෙන් ඉවත්වු බවයි. සංවිධාන ගණනාවක් එහෙම කියනවා.

ජනාධිපති මන්දිරයට කඩාපැන එහි සිදුකළ කටයුතු මම කිසිවිටෙක අනුමත කරන්නේ නැහැ. ඒක ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික එකක් නෙවේ. එය අපිට තිබෙන පොදු දේපළක්. එහි නැතිවෙලා තිබෙන සමහර දේවල් නැවත හොයා ගන්න බැරිවෙනවා. ජනාධිපති මන්දිරයත් අරගලකරුවන් අතේ, අරලියග මන්දිරයත් ඒගෝල්ලෝ අතේ, අන්තිමට අගමැතිකාර්යාලයට ගියා.

කොහොමද ආණ්ඩුවක් ගෙනියන්නේ. එය අවසන් වූණේ මගේ නිවස ගිනිතියලා. ඒවත් අපි හෙළා දකින්න ඕන. අරගලකරුවන් කවුරුත් ඒවා හෙළා දැක්කේ නැහැ.

ඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැතිකාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ. ඔවුන්ව අපි අගය කරනවා. දැන් අපි සියලුදෙනා එකතුවෙන්න ඕන.

කොහොමද දැන්නීතිය කඩපු අයවයි, අනිත් අයවයි තෝරා බේරා ගන්නේ. මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ජෝසප් ස්ටාර්ලින් තිබෙන්නේ නීතිමය කටයුත්තක්. මම එතුමා සමඟ කතා කළා. අරගලය නිසා හොද දේත් සිදු වුණා. නරකත් සිදු වුණා. හොඳ විතරක් තියාගෙන අපි නරක පැත්තකට දාමු. නිතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී යම් අඩුපාඩු සිදුවුණා නම් අපි සාකච්ඡා කරලා ඒවා විසදා ගනිමු.” යනුවෙන් පැවසීය