දමිතා, රැට්ටා ඇතුළු අට දෙනෙකුට කොටුව උසාවියෙන් ඇප

දමිතා, රැට්ටා ඇතුළු අට දෙනෙකුට කොටුව උසාවියෙන් ඇප

මැයි 25 වැනි දින කොළඹ කොටුව උසාවිය ඉදිරිපිට දී පරුෂ වචනයෙන් බැන වදිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු බවට චෝදනා කරමින් චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්න, රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇතුළු අට දෙනෙකුට එරෙහි ව කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් ගොනු කළ නඩුකරයක් අද (09) විභාගයට ගැනුණා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිරවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනු යි මෙම පිරිස අධිකරණයට කැඳවා තිබුණේ.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව ඔවුන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහි දී අධිකරණය හමුවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැකකරුවන් ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.

මෙලෙස ශරීර ඇප මත මුදාහැරීමට තීරණය කෙරුණේ, චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළි දමිතා අබේරත්න, චිත්‍රපටි නළු ජගත් මනුවර්ණ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සේනාරත්න වෘත්තීය සමිති ක්‍රියාකාරී ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිසකු යි.