කාන්තාවන්ට සවස 6න් පසුවත් රැකියාව කිරීමට අවසර

තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් රැකියාවල නියුතු කාන්තාවන්ට ජාත්‍යන්තර වේලාවන් අනුව සේවය කරමින් රාත්‍රී සේවයේ නියුතු වීමට අවකාශය සැලසෙන පරිදි 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් ව්‍යාපාර, දැනුම් සහ ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, විදේශයන්හි පිහිටි ව්‍යාපාර ආයතනවල ගිණුම්, පරිපාලන සහ තාක්ෂණික කටයුතු සිදුකරන කාර්යාල ඇතුළු ආයතනවල සේවයේ නියුතු සේවිකාවන්ට රාත්‍රී සේවයේ නියුක්ත වීමේදී මෙතෙක් පැවති නෛතික සීමා සංශෝධනය කරනු ඇත.
එමගින් වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇති අදාළ ක්ෂේත්රවල රැකියාවන්හි නියුතු සේවිකාවන් උදෑසන 6.00ට පෙර හෝ සවස 6.00න් පසුව ද සේවයේ නියුක්ත කළ හැකි වේ.
පැවති නෛතික තත්ත්වය තුළ වයස අවුරුදු 18කට වැඩි කාන්තාවකට පස්වරු 8.00 දක්වා සේවය කිරීමට අවසර තිබූ අතර, ගුවන්තොටුපළ, හෝටල්, භෝජනාගාර, සමාජ ශාලා වැනි සීමිත පරාසයක පමණක් රාත්‍රී සේවයේ යෙදීමට සීමිත අවකාශයක් තිබිණි.
මෙමගින් කාන්තා සේවිකාවන් රාත්‍රී සේවයේ යෙදවීමට කම්කරු නීතියේ පැවති නෛතික බාධා ඉවත් කෙරෙන අතර, එමගින් මෙරට ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

