මහනුවර දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන් (Photos)

මහනුවර දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන් (Photos)

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා.

අනතුරුව දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන ගැටඹේ – මහවැලි ග‍‍ඟ නිම්නයේ දී සිදු කෙරුණු අතර පෙරහර මංගල්‍යය සාර්ථකව අවසන් වූ බවට සැළකෙරෙන සංදේශය අද දහවල් පෙරහරෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අවසන් වීමට නියමිතය.

පසුගිය (28) වැනිදා කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර පැවැත්වුණේ (02) වැනිදායි.

රන්දෝලි පෙරහර පසුගිය (07)වනදා ආරම්භ වූ අතර, එය දින 05 ක් පුරා වීථි සංචාරය කෙරිණ.

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණ තිබුණා.

මෙම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මෙන්ම මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරු ද එක්ව සිටියා.

ඉන්ධන අර්බුදය ඇතුළු ආර්ථික ගැටලු රැසක් පවතින කාලසීමාවකදී වුවද පෙරහර මංගල්‍යයය නැරඹීම සඳහා මහනුවර නගරයට අති විශාල ජනතාවක් පැමිණ සිටියා.

ඊයේ පස්වරු 6.35ට යෙදී තිබූ සුබ මොහොතින් ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය ආරම්භ කෙරුණා.

අවසන් රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කරවුයේ ඉන්දිරාජා හස්තියායි. මියන් රාජා සහ බුරුම රාජා දෑලේ ගමන් කළා.