විදුලි බිලට සහන දෙන්න – විපක්ෂ නායක

ආණ්ඩුව විසින් සිදු කරන ලද විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව යළි සිතා බලා ජනතාවට සහනයක් සලසන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 ) ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
ඊට පිළිතුරු දුන් සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය මගින් අඩු ආදායම්ලාභීන්ට විදුලි බිල සම්බන්ධයෙන් යම් සහනයක් ලබා දීමට කටයුතු කෙරෙමින් තිබෙන බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,
අද රටේ ජනතාවට මේ විදුලි බිල වැඩි කිරීම දරා ගන්න බැරි තත්ත්වයකට ඇවිත්. බිල නිවසට එන විට මේක දරාගන්න බැරිවෙයි. අසීරු තත්ත්වයක සිටින ජනතාවට සහනයක් අවශ්‍යයි. පුංචිම මිනිසාට, කර්මාන්තකරුවන්ට තමයි මේකෙන් වැඩිපුරම පහර වැදිලා තිබෙන්නේ.
සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත,
විපක්ෂ නායකතුමා අවධානය යොමු කළ පරිදී අපි විදුලි බිල වැඩි කිරීම ගැන ලබන 29 දින පාර්ලිමේන්තුවේ එක් දිනක විවාදයක් ලබා දී තිබෙනවා. ඒ වගේම අතුරු අයවැයක් එනවා. එහිදී සහන ලබා දිය යුතු අයට සහන ලබා දීමට සාකච්ඡා කෙරීගෙන යනවා. එහිදී විශේෂයෙන් අඩු ආදායම්ලාභීන්ට විදුලි බිල සම්බන්ධයෙන් යම් සහනයක් ලබා දීමට කටයුතු කෙරෙමින් තිබෙනවා.

