හිටපු ජනපතිගේ එතෙර වියදම් ගැන කළ ප්‍රකාශය මාධ්‍ය විකෘති කරලා – බන්දුල ගුණවර්ධන

හිටපු ජනපතිගේ එතෙර වියදම් ගැන කළ ප්‍රකාශය මාධ්‍ය විකෘති කරලා – බන්දුල ගුණවර්ධන

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන ගමන් බිමන් සහ වෙනත් කාර්යයන් සඳහා රජයේ මුදල් වැය කරන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට තමා දුන් පිළිතුර ඇතැම් මාධ්‍ය විකෘති කොට පළකර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

සතියේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ සිට තායිලන්ත අගනුවර වෙත ගමන් කළ පෞද්ගලික ගුවන් යානයේ ගාස්තු ගෙවා ඇත්තේ ජනතාවගේ බදු මුදලින් බව සඳහන් කළ මාධ්‍යවේදියෙක් හිටපු ජනාධිපතිවරයා මේ වරප්‍රසාද යටතේ තවමත් ජීවත්වන්නේ දැයි ප්‍රශ්නයක් ඇසීය.

හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමිව ඇතැයි ඊට පිළිතුරු වශයෙන් තමා ප්‍රකාශ කළ බව ඇමතිවරයා සඳහන් කරයි. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව ලෙස හේමා ප්‍රේමදාස මැතිණියට ඒ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දී ඇති බව ඇමතිවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

“ඒ හැර හිටපු ජනාධිපතිවරයා හෝ ඔහු සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගිය ගමන ගැන හෝ මා කිසිවක් සඳහන් කළේ නැහැ. ඒ පිළිබඳව තවදුරටත් විස්තර සොයා බැලීමට හැකි බව මම ප්‍රකාශ කළා. මා කී දේ එපමණක් වුවත් හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට බැංකොක් බලා ගිය ගමනට රජයේ මුදල් වැය කළ බව මා කීවේ යයි ඇතැම් මාධ්‍ය අද (17) වාර්තා කර තිබෙනවා. ඔවුන් කර ඇත්තේ මා කී දේ විකෘති කිරීමක්”, ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.