ගාලු මුවදොර භූමියට සිදු වූ හානිය අරගලකරුවන්ගෙන් අය කර ගන්නවා – ප්‍රසන්න

ගාලු මුවදොර භූමියට සිදු වූ හානිය අරගලකරුවන්ගෙන් අය කර ගන්නවා – ප්‍රසන්න

ගෝල්ෆේස් භූමියේ රැඳී සිටි අරගලකරුවන් නිසා එම ස්ථානයට සිදු වූ හානිය ඔවුන්ගෙන් අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අරගළය පැවති භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් පිරිසක් නඩු පැවරීමට කටයුතු කර තිබෙන අතර, ඒ අනුව මෙම හානිය පිළිබඳ සම්පූර්ණ වන්දි මුදලක් මොවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන බව යි ප්‍රසන්න රණතුංග සඳහන් කරන්නේ.

නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවති මෙම ස්ථානයෙන් අරගලකරුවන් ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුව වන අතර, කිසිවෙකුට රාජ්‍ය දේපොළ බලහත්කාරයෙන් අයිති කර ගැනීමට නො හැකි බවත් අමාත්‍යවරසා සඳහන් කරනවා.

මෙලෙස වන්දි මුදල් අය කර නො ගන්නවා නම්, පසුකාලීන ව අමාත්‍යාංශ නිලධාරින් ගැටලුවලට මුහුණ දෙන බවත් එවැනි අර්බුදයකට තම නිලධාරින් පත් කිරීමට තමා කටයුතු නො කරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ඒ අනුව මේ සිදු වූ හානිය සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරුවක් හා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හා ඒ සඳහා ගත යුතු නීතිමය පියවර මොනවා ද යන්නත් තමා වෙත දන්වා සිටින ලෙස යි අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ.