රජයේ නිලධාරීන් විදෙස් රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ

විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණ දී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රාජ්‍ය නිලධාරීන් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙහිදී රාජ්‍ය නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය පහසු කිරීම සඳහා අංක 14/2022 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මෙන්ම තවත් කරුණු 06ක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය කිරීම මගින්, විදේශ මුදල් ප්‍රේෂණය කිරීමට අනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ රුපියල් ගිණුමක් භාවිතා කිරීමට අවසර ලබාදීම, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුපට දායක මුදල් ලැබෙන පරිදි හා ගෙවීමට ඇති බැංකු ණය වාරික පියවීම සඳහා එම ගිණුම් සම්බන්ධ කිරීමේ විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම කෙරහි මෙහිදී සාකච්ඡාවට බදුන් වුණා.
මුදල් ප්‍රේෂණය කිරීම අවම වශයෙන් මාස 03කට වරක් සිදු කිරීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සංශෝධනය මගින් හැකියාව තිබෙන අතර මෙරටදී මුදල් හර කිරීමට හැකිවන පරිදි රාජ්‍ය නිලධාරියාගේ නමින් ගිණුමක් විවෘත කිරීමට, හවුල් ගිණුමක් විවෘත කිරීමට හෝ මුදල් එවීම සඳහා ගිණුමක් නම් කිරීමට ද අවසර ලබා දී ඇති බව ද මෙම හමුවේදී අනාවරණය කෙරුණා.
අයදුම්කර ඇති රාජ්‍ය සේවකයින් සඳහා කඩිනමින් විදේශ රැකියා අවස්ථා සොයා ගැනීම හා අයදුම්පත් අදාළ පාර්ශ්ව වෙත යොමු කිරීම මගින් විභවයක් පවතින විදේශ රැකියා ඛාණ්ඩ හඳුනා ගැනීම හා ඉලක්කගත කණ්ඩායම් සඳහා දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.
රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඵලදායි ලෙස විදේශගත කිරීමේ වැඩසටහන යටතේ පුළුල් ආවරණයක් සිදු කිරීම මගින් ඔවුන් විදේශ ශිෂ්‍යත්ව හරහා විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා යොමු කිරීමට දිරිමත් කිරීමටත් එම සාකච්ඡාවේ දී සැලසුම් කෙරුණා.

