පාතාලය නිසා අම්බලන්ගොඩ කැළඹෙයි – දෙදෙනෙක් මරුට

අම්බලන්ගොඩ – දෙල්දූව ප්රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ මෙය දකුණේ ප්රබල පාතාල කල්ලි දෙකක් අතර කළක සිට පවතින ආරවුලක ප්රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෙම පාතාල කණ්ඩායම් දෙක දකුණේ විවිධ අපරාධවලට සම්බන්ධ බවටද හෙළිව තිබෙනවා. වෙඩි වැදුනු පුද්ගලයින් හෝටලයෙහි ඉහළ මාලයේ රැදී සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ වනවිට එම ස්ථානයේ මෙම පුද්ගලයින් 04 දෙනා පමණක් රැදී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.
වෙඩි තැබීම සිදුකළ කණ්ඩායමේ පුද්ගලයෙකු මීට මාස කිහිපයකට පෙර වෙඩි වැදී මියගිය කණ්ඩායමේ පිරිසක් විසින් ඝාතනය කර ඇති අතර, ඊට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පත් කර ඇති බවයි අම්බලන්ගොඩ පොලිසිය සඳහන් කළේ.

