වී අස්වනු නෙලන ප්‍රදේශවලට ප්‍රමාණවත් ඉන්ධන නිකුත් කරන්නැ යි ජනපතිගෙන් උපදෙස්

මෙවර යල කන්නයේ වී අස්වනු නෙලන ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ පිළිබඳ වහා ම සොයා බලන ලෙස යි අමාත්‍ය මණ්ඩලය ඊයේ (22) රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.
දැනට අදාළ ප්‍රදේශවලට ඉන්ධන ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු දක්වා තිබෙනවා.
මේ අතර, ඊයේ පමණක් වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 282ක් මිල දී ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ වනවිට යල කන්නයේ වගා කරන ලද මෙට්‍රික් ටොන් 1,126ක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන ඇති බව සඳහන්.
එමෙන්ම වී මිල දී ගැනීම සඳහා ගබඩා 73ක් ද විවෘත ව පවතින බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
කෙසේ වෙතත් ගොවීන් චෝදනා කළේ, තමන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණවත් නොමැති බවට යි.
මේ අතර, සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කොට ඒ හරහා අධීක්ෂණ කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
පක්ෂ බේදයකින් තොර ව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මන්ත්‍රීවරුන් පත් කිරීම යි රජයේ අදහස වී ඇත්තේ.
මේ පිළිබඳ ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩල හමුවේ දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
මේ අතර ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට අදාල යෝජනා ලබා දෙන ලෙසට ද අමාත්‍ය මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.

