සමරිසි අයිතීන් වෙනුවෙන් ගෙනා සංශෝධනය ජනපතිට

ශ්‍රී ලංකාව තුළ LGBTQ+ ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරිම සඳහා වූ මෙම පනත් කෙටුම්පත ඊයේ ( 23) පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දොලවත්ත මහතා පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇත.
LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් වන අතර මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලදී පවා මෙම ප්‍රජාව විවිධ හිංසනයන්ට, පීඩාවන්ට සහ අතවරයන්ට පත් වූ අවස්ථා බහුල බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේ ම. ඇතැම් අවස්ථාවලදී ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් පවා මෙම ප්‍රජාවගේ උල්ළංඝණය වූ අවස්ථා ද වාර්තා වී ඇතැයි එහි දැක්වේ.
ලිංගික දිශානතීන් සහ ලිංගික හැඳිනීම් මත පුද්ගලයන් දණ්ඩනයට ලක් කිරීම වික්ටෝරියානු යුගයේ යටත් විජිතවාදී නීති පද්ධතීන් මගින් ලොව පුරා ව්‍යාප්ත කරනු ලැබූවකි.
නමුත් නූතන මනෝ – වෛද්‍ය විද්‍යාව තුළ මෙය අපරාධයක් හෝ විකෘතියක් ලෙස නොසලකයි. එසේ ම දියුණු රටවල් මෙම ප්‍රජාව දණ්ඩනයට ලක් කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමට පනවා ඇති නීති රීති සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.
ඒ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් යොමු කරනු ලැබ තිබේ.

