තායිලන්තයේ වියදම වැඩියි, ගෝඨාභය සති දෙකකින් ලංකාවට – රොයිටර්

තායිලන්තයේ වියදම වැඩියි, ගෝඨාභය සති දෙකකින් ලංකාවට  – රොයිටර්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන සති දෙක තුළ යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

තායිලන්තයේ වියදම් අධිකවීම නිසා ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

ඊයේ (24) දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මීට පෙර මාධ්‍ය වෙත සඳහන් කළා.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් වන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ පැමිණීම කල්දමා තිබෙනවා.

ඔහුට යළිත් දිවයිනට පැමිණීමට අවශ්‍ය වුවද ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගැටළුව හේතුවෙන් පැමිණීම ප්‍රමාද කරන ලෙස මෙරට බුද්ධි අංශ උපදෙස් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

පෞද්ගලික ජෙට් යානයක්, ජනාධිපති මන්දිරයක් සහ පැය 24 පුරාම ආරක්ෂාව සඳහා මේ වන විට රුපියල් මිලියන ගණනක් ගෝඨාභය රාජපක්ෂ මහතා වියදම් කරමින් සිටින බවට ඔහුට සමීප පුද්ගලයෙක් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

රාජපක්ෂ පවුලට සමීප තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත්තේ අදාළ වියදම් බොහෝදුරට ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකු විසින් දරනු ලබන බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂගේ නැවත පැමිණීමට අවශ්‍ය කටයුතු සඳහා පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ බවයි.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණීමේ කිසිදු සැලසුමක් ගැන තමා දැනුවත් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබෙනවා.

රාජපක්ෂට එරෙහි ඕනෑම නීතිමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ඉදිරියට යන බවද ඔහු රොයිටර්ස් පුවත් සේවය සමග සදහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

එම නිවසේ මීට පෙර යොදවා තිබූ ආරක්‍ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වන විට යොදවා ඇති අතර කොමාන්ඩෝ බලකායේ නිලධාරීන් යොදවා ආරක්ෂාව ශක්තිමත් කර තිබීම කැපී පෙනේ.

https://reut.rs/3AMgJ2D