වාර්තා කිහිපයක් තබමින් සිංහයන් ඇෆ්ගනිස්ථානය දණ ගස්වයි

වාර්තා කිහිපයක් තබමින් සිංහයන් ඇෆ්ගනිස්ථානය දණ ගස්වයි

2022 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය ලෙස පැවැත්වුණ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරඟයේ ජය ශ්‍රී ලංකාව විසින් ඊයේ (03) හිමි කර ගත්තා. ඒ කඩුලු 4ක් හා පන්දු 5ක් අතැතිව.

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් ලබා ගත්තේය.

එහි දී වේගවත් පිති හරඹයක නියැලුණු ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 84ක් ලබා ගත්තේ පන්දු 45ක් පමණක් වැය කරමින්.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මධුශංක කඩුලු 2 ක් දවා ගත්හ.

ඒ අනුව ලකුණු 176ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19යි පන්දු 1ක් තුළ කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක (35), කුසල් මෙන්ඩිස් (36), ධනුෂ්ක ගුණතිලක (33), භානුක රාජපක්ෂ (31) ලකුණු රැස් කළා.

මෙම තරඟය ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ඉතිහාස ගත වුණේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම විස්සයි විස්ස තරඟ ගණනක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය කළ නායකයා වශයෙන්.

වත්මන් 20යි 20 නායක දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති තරඟ සංඛ්‍යාව 14ක්.

මීට පෙර කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 20 යි 20 තරග 13ක් සහ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් තරග 13ක් ජයගෙන තිබෙනවා.

මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 12ක්.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තරග 7ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇති 20 යි 20 තරග සංඛ්‍යාව 06ක්.

මේ අතර ඩුබායි හිදී පැවති 20යි 20 ජාත්‍යන්තර තරඟයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කිරීමේ වාර්තාවට ශ්‍රී ලංකාව හිමිකම් කියන අතර ඒ පසුගියදා බංග්ලාදේශය සමග පැවති තරගයයි.

එම තරඟයේදී ශ්‍රී ලංකාව හඹාගිය ලකුණු සංඛ්‍යාව 184ක්.

එමෙන්ම සාජා ක්‍රීඩාංගණයේදී ද එම වාර්තාවට ඊයේ (04) ශ්‍රී ලංකාව හිමිකම් කියනු ලැබුවේ ලකුණු 176ක් හඹා ගොස් එය ජයග්‍රහණය කරමින්.