කුරුණෑගල අනාරක්ෂිත බෝක්කු සහ කාණු වහාම ආරක්ෂිත ලෙස පිළිසකර කරන්නැයි නියෝග

කුරුණෑගල අනාරක්ෂිත බෝක්කු සහ කාණු වහාම ආරක්ෂිත ලෙස පිළිසකර කරන්නැයි නියෝග

කුරුණෑගල අවට මහා මාර්ග ආසන්නයේ ඇති අනාරක්ෂිත බෝක්කු හා කාණු වහා ආරක්ෂිත අන්දමින් පිළිසකර කරන ලෙස කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ධර්මකීර්ති අමරසිංහ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු බලධාරින්ට අද (06) නියෝග කර තිබුණා.

පාසල් සිසුන් විශාල වශයෙන් ගමන් කරන මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම පොලිසිය ඇතුළු බලධාරීන්ගේ ප්‍රමුඛ වගකීමක් බවත් එසේම පරිසරයට සහ මාර්ගයට අවහිර වන ආකාරයට කර ඇති අනවසර ඉදිකිරීම් ද අවාසනාවන්ත මරණවලට හේතු වන බව පෙන්වා දුන් මරණ පරීක්ෂකවරයා ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කළේ ය.

ඔහු මේ නියෝගය කළේ, කුරුණෑගල ජයන්තිපුර ඊයේ (05 ) වන දා දහවල් වතුර පිරි බෝක්කුවකට වැටී 13 හැවිරිදි පාසල් දරුවෙකු මිය යාමේ සිද්ධිය පිළිබඳව කුරුණෑගල මහ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවති පරීක්ෂණයේදී ය.

මලියදේව ආදර්ශ මහ විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලැබූ කුරුණෑගල, ජයන්තිපුර පදිංචිකරුවෙකු වන සචිත්‍ර ගිහාන් සේනාරත්න දරුවාගේ මරණය පිළිබඳව මෙම පරීක්ෂණය පවත්වා තිබුණා.