ජනතාව බරපතල පීඩනයක, ඇමතිවරු රුචි අරුචි තනතුරු වෙන්දේසියක

තනතුරු ලබා ගැනීමට එදා සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ගනු ලැබූ තීන්දුව සියයට සියයක්ම නිවැරදි බව අද මොහොතින් මොහොත ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ සංගම්වල නියෝජිතයින් පිරිසක් ඊයේ (09) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.
රට බංකොලොත් වී ඇති මොහොතක, ඒ පිළිබඳව කිසිදු හැඟීමක් නැතිව ආණ්ඩුව විසින් රාජ්‍ය ඇමතිවරු තිස් හත් දෙනෙක් පත් කරමින් ජනතාව මත තවදුරටත් බරක් පටවා ඇතැයි ද ඒ මහතා පැවසීය. මෙවැනි කඩා වැටීමකට ලක් වූ කිසිම රටක් නොකරන අන්දමින් උන්මත්තක ලෙස මෙම කටයුත්ත සිදු කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා ජනතාව තවදුරටත් ප්‍රපාතයට ඇද දමා ඇතැයි ද පැවැසීය.
රටේ ජනතාව මේ තරම් බරපතළ පීඩනයක සිටියදී මැති ඇමතිවරු තමන්ට රුචි අරුචි ඇමතිකම් සොයමින් තනතුරු වෙන්දේසියේ යමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, එය ඇමැති කටු සූදුවක් යැයිද වැඩි දුරටත් පැවසීය.

